දක්ෂිනාංශික අන්තවාදයට එරෙහිව ජර්මානු ජනයාගේ නැගිටීම ආශ්වාදයකි! – සේනක වත්තේගෙදර

මේ සති අන්තයේ ජර්මනිය පුරා ජනයා දක්ෂිණාංශික අන්තවාදයට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහස් ගනනින් වීදි බසිමින් සිටියහ. එය එසේ සිදුවෙනවා දැකීම සතුට ගෙන දෙන කරුණක්. එයට පසුබිම් වූයේ AfD ( Alternative for Germany ජර්මනිය සඳහා විකල්පය) නැමති දේශපාලන පක්ෂයේ දක්ෂිණාංශික අන්තවාදයටයයි.

AfD පක්ෂයේ එක් දේශපාලන  සටන් පාඨයක් වන්නේ සංක්‍රමණිකයන් ජර්නිමයෙන් පිට කලයුතු ය යන්නයි.(Remington).

පසුගිය නොවැම්බර් 25 ඉතා රහසිගතව රැස්වූ එම පක්ෂය ඔවුනට බලය ලැබුණහොත්, සියලු සංක්‍රමණිකයන් රටින් පිටුවහල් කිරීමට අදාල සැලසුම් සකස් කළ බවට මාධ්‍ය වල සඳහන්  වේ.

එම කාරනය වැඩිදුරටත් තහවුරු වන්නේ ජුනි මාසයේදී පැවැත්වෙන යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයෙකු පොතක් ලියමින් සංක්‍රමණික පසුබිමක් සහිත මිලියන 15 ක් පමණ වන ජර්මන් ජාතිකයන්ද ජර්මනියෙන් පිටකර හැරිය යුතු බව සඳහන් කර තිබීමයි.

ඡායාරූපය:Stuttgarter-zeitung / Foto Fotoagentur Stuttgart/Andreas Rosar

මෙසේ පිටමං කළ යුතු සංක්‍රමනික පිරිස් අතරට, දැන් ජර්මානු ජාතිකත්වය ලබා ඇති අයද ඇතුළත් වන බව වාර්තා පෙන්වයි. මෑත ජනමත විචාරණ අනුව ජර්මනියේ දෙවන ජනප්‍රියම පක්ෂය බවට පත්ව ඇති එයට සියයට 23ක කැමැත්තක් තිබේ.

නාසි දක්ෂිණාංශික අන්තවාදීන්ගේ වර්ධනය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, මානවවාදය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සති අන්තයේ දහස් ගනනින් ජනයා පවුල් පිටින් සිය දරුවන්ද සමඟ පාරට ආහ. ජර්මන් පොලිස් වාර්තා වලට අනුව ඇතැම් නගර වල අෙපක්ෂා කරන ලද්දේ  2000 ක් පමණ විරෝධතා පිරිස් වුවද විනාඩි ගණනාවක් ඇතුලත එය දහස් ගනනක් , ලක්ෂ ගනනක් දක්වා වැඩි වී තිබේ. දුම්රිය ජනයාගෙන් පිරී ඉතිරී ගියේය.

එය එසේ වෙනවා දැකීම සිතට සතුටක් ගෙන දෙන්නක් විය.

ලෝක යුද්ධ වල කටුක අත්දැකීම් ඇති ජර්මන් ජාතිකයන් නැවත වතාවක් එවැනි අමිහිරි අතීතයකට යාමට ඇති අකමැත්තට මෙය කදිම සාක්ෂියකි. එපමණක් ද නොව මහා පවුරක් ලෙස පෙනී සිටිමින් ඔවුන්  මෙලෙස ආරක්ෂා කරන්නේ සංක්‍රමණිකයන් ලෙස මෙරටට පැමිණි ජනයාගේ අයිතිවාසිකම්ය.

මානව අයිතීන් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාවීමේ වාසිය තමාට පමණක් නොව මුළු රටටම වැදගත් වන බව ඔවුන්ගේ හැගීමයි. මෙසේ වීදි අරක්ගත් ජනයාට තමාටම පෞද්ගලික වූ දේශපාලන මතයක් තිබුණද, ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම අංක එක ලෙස ඔවුන් සලකති.  බහුතර ජර්මන් ජාතිකයන්ගේ මෙම ගුණය කවදත් අගය කළ යුතුය.

ශ්‍රී ලංකාවටද එවැනි අමිහරි මතකයන් බොහෝ තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම හා තමාගේ මෙන්ම අනෙකාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය මානවවාදී හැගීම ජනිත වන්නේ ඉතා සුළු පිරිසකට පමණි. වසර 30 කට ආසන්න යුද්ධයකින් ඉතා අමිහිරි මතකයන් තිබුණද එකී ගැටළුවට විසදුමක් අවශ්‍ය බව කියා අප පාරට එන්නේ නැත. මන්ද එය අපගේ ප්‍රශ්නයක් නොව අනෙකාගේ ප්‍රශ්නයක් පමණක් වන බැවිනි.

වතුකරයේ ජනතාව වසර 200 ක් තිස්සේ දෙවෙනි පුරවැසියන් ලෙස සලකමින් රාජ්‍ය අපරාධයක් තවමත් සිදු වෙමින් පවතී, නමුත් ඊට එරෙහිව ජනයා පාරට එන්නේ නැත. මන්ද එය අපගේ ප්‍රශ්නයක් නොව අනෙකාගේ ප්‍රශ්නයක් පමණක් වන බැවිනි.

මෙවැනි බොහෝ උදාහරණ විශාල ප්‍රමානයක් අප සමාජයේ තිබුණත් අපට තවමත් ප්‍රශ්නය තේරැම් ගැනීමට අපට නෙහැකි වී තිබේ. ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රවාදය අංක එක ලෙස ගැනෙනවා වෙනුවට අංක එක වන්නේ තමන්ගේ පෞද්ගලික පක්ෂ දේශපාලනයයි.

පසුගිය දා සිදුවූ “අරගලය” ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සිදුවූ අරගලයක ලක්ෂණ පෙනෙන්නට තිබුණි. එනමුත් එය දකුණට සීමා විය. යම් දුරකට දේශපාලකයන් කෙරෙහි ඇතිවූ  වෛරය නිසා ඇති වූවක්  බවද කිව හැක. මන්ද යත් අරගලය නිම වීමෙන් පසු එයට එක් වූ වැඩි දෙනෙකු තමාට පහසු තැන සිට බෙදී වෙන්වී තමන්ගේ දේශපාලනය කරන බව පෙනෙන්නට තිබෙන නිසාවෙනි.

එහි වූ  ප්‍රජාතන්තුවාදී දේශපාලන විභවය, වර්ධනය කර ගැනීමට අපි සියල්ලන් අසමත් වීමු.

මෙලෙස විදීයට ආ   ජර්මන් ජාතිකයන්ගෙන් අප ඉගන ගත යුත්තේ, අන්ත දක්ෂිණාංශිකයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වන අභියෝගයන්ට එරෙහිව පාරට ඒමට උත්තේජනය සැපෙයෙන්නේ දේශපාලන පක්ෂ වලින් නොව එය ඔවුන් තුලම ඇති අත්හල නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී ගුණයක් ලෙස  බවයි.

මෙවැනි සමාජයකට අපි ශක්තිමත් සිවිල් සමාජයක් යැයි කියමු! උද්ඝෝෂණ අවසානයේ ජර්මන් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට පැමිණි ජනයාට තමා ස්තුති වන්ත වන බවයි.

ලෝකයේ කෙහේ හෝ මෙවැනි දේ වෙනවා නම් අපි සතුටු වෙමු!

Social Sharing
පුවත් විශේෂාංග