විදෙස්ගත පාතාලයන් 30ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක්…

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයවන ජාවාරම්කරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනකු හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් රජයට තොරතුරු වාර්තා වී තිබෙන බවය.

විදේශගතව සිටින එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පවසයි. මහජන ආරක්ෂක අමත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේ කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමිනි.

කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපන ප්‍රදර්ශනය සහ වෙළෙඳ සැණකෙළිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, මුදිතා ප්‍රසාන්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය සහ කිරිඳිවැල මහා විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පෙරේදා (25) ආරම්භ කෙරිණි. එය 31 වැනිදා දක්වා පැවැත්වේ. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අධ්‍යාපන සහ වෙළෙඳ කුටි 50කට වැඩි ගණනකින් මෙය සමන්විතය.

රක්ෂණ ශ්‍රියන්ත

Social Sharing
නවතම පුවත්