රජය IMF ගියානම් එහි ඵල විපාකවලටත් මුහුණ දියයුතුයි!

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

තමා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත නොවුණේ එහි ප්‍රතිවිපාක දැනගෙන බවත් එහි අහිතකර ප්‍රතිවිපාක කුමක් දැයි තමා පෙන්වා දුන්කරුණු නොසලකා රජය එම අරමුදලට පිවිස ඇති බැවින් එය පනවන සෑම සියලු අහිතකර කොන්දේසියක්ම ඉටුකිරීමට දැන් සිදුවී ඇතැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසීය.

යමෙකු බොක්සින් වළල්ලකට පිවිසිය යුත්තේ ප්‍රතිවාදී ක්‍රීඩකයා ප්‍රහාර එල්ලකරන බවට අවබෝධයෙන් යුතුව බවත් එසේ නොමැතිව ඔහු හොම්බට දෙකක් අනින විට ගහනවෝ ගහනවෝ කියමින් මොර දීම ඵලරහිත ක්‍රියාවක් බවත් නාවල පාරේ සිය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේය.

කෙටියෙන් කිවහොත් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වීමට පෙර ඔවුන් පනවන පොලී අනුපාත හා බදු වැඩිකිරීම, රජය සතු සම්පත් පෞද්ගලීකරණය කිරීම, රුපියලේ අගය පහළ හෙළීම හා රජය ජනතාවට ලබාදෙන සහන කප්පාදු කිරීම වැනි අහිතකර කොන්දේසි පිළිබඳව දැනුවත්ව සිටිය යුතු බවත් පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ යුතුව තිබුණේ වෙනත් ඵලදායී දේශීය වැඩපිළිවෙළක් අනුගමනය කිරීම බවද වැඩිදුරටත් පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

Social Sharing
ආර්ථික නවතම පුවත්