වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද (11) දිනයේ සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය සහ ලෝක බැංකුව මඟින් ලබාදෙන මුදල් අහිමි වීමේ අවදානමක් මතු වී තිබේ.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (10) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබුණ ද ගණ පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාවේ කටයුතු අද දිනය දක්වා කල්තැබුණි.

සභාව කල්තැබීමෙන් අනතුරුව සභා නායක සුසිල් ප්‍රේමජයන්ත, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවී අදාළ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ප්‍රකාශ කළේය.

ඒ අනුව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව සඳහන්ය.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිත අතර සභාවේ මුලික කටයුතුවලින් අනතුරුව මෙම විවාදය ආරම්භ කිරීමට නියමිතය.

සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, නියමිත වේලාව තුළ දීම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ප්‍රශ්න අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

Social Sharing
නවතම පුවත්