අධිකරණය තිබෙන්නේ ජනතාවට මිස නීතිඥවරුන්ට-විනිසුරුවරුන්ට නොවේ…

අධිකරණය තිබෙනුයේ රටේ ජනතාව වෙනුවෙන් මිස නීතිඥවරුන්, විනිසුරුවරුන් සඳහා නොවන බව අධිකරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) පැවසීය.

සමථකරණය සියයට 80කින් පමණ සාර්ථක වීම නිසා අධිකරණයට පැමිණෙන නඩු සංඛ්‍යාව තරමක් අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැතිවරයා මෙසේ ද පැවසුවේය.

අයි.එම්.එෆ්. එක රටේ නීතියේ ආධිපත්‍යය ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඔවුන් අපේක්ෂා කරන පරිදි රටේ නීතිය යහපත් නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය රටට ලැබුණේ. රටේ සංහිඳියාව ඇති කිරීමට මේ අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. ආයතන 21ක් කළමනාකරණය කරමින් මේ අමාත්‍යාංශය ක්‍රියාත්මක වෙනවා. මරණ පරීක්ෂකවරුන්, සමාදාන විනිසුරුවරුන් පත් කිරීම අපට අයත්. ජූනි 30 වන විට මෙරට සියලු අධිකරණවල පැවැති නඩු සංඛ්‍යාව 1,104,458ක්. ඒ අතුරින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5680ක් තිබෙනවා. අභියාචනාධිකරණයේ 4051ක් නඩු තිබෙනවා. සිවිල් අභියාචනා මහාධිකරණයේ නඩු 6168ක් තිබෙනවා. වාණිජ මහාධිකරණයේ නඩු 8363ක් තිබෙනවා. අපරාධ මහාධිකරණවල 28,173ක් නඩු තිබෙනවා. දිසා අධිකරණවල 254,751ක් නඩු තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල 791,293ක් නඩු තිබෙනවා. ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 1140ක් තිබෙනවා. කම්කරු විනිශ්චය සභාවල 4836ක් නඩු තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 දෙනකු සිටිනවා. එක් විනිසුරුවරයකුට පැවරෙන නඩු සංඛ්‍යාව 334යි. අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් 20ක් සිටිනවා. එක් විනිසුරුවරයකුට නඩු 202ක් පැවරෙනවා. මහාධිකරණවල එක් විනිසුරුවරයකුට නඩු 464ක් පැවරෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල එක් විනිසුරුවරයකුට 4345ක් නඩු විසඳීමට සිදුවෙනවා. මේ කටයුතු කිරීමට විනිසුරුවරුන් 399ක් සිටිනවා. දෙසැම්බර් 01 වැනිදා සිට තව 30ක් බඳවා ගත්තා. දැන් 429ක් විනිසුරුවරුන් සිටිනවා. සැප්තැම්බර් 30 වැනිදා වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබෙන නඩුවලින් වැඩිම සංඛ්‍යාවක් මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් පවතිනවා.

යූ.එස්.ඒ.ඩී. ආයතනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 15ක් අධිකරණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ලැබී තිබෙනවා. යුරෝපියානු යූනියන් එකෙන් යුරෝ මිලියන 19.4ක් එම්පවර් විමෙන් මාතෘකාව යටතේ ලැබී තිබෙනවා. ජයිකාවලින් මිලියන 60ක් ලැබී තිබෙනවා. රුපියල් බිලියන 22ක පමණ ආධාර විදේශයෙන් අපට ලැබී තිබෙනවා. අධිකරණ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා දඩ ගෙවීම විද්‍යුත් ක්‍රමයකින් ගෙවා නිදහස් වීමට හඳුන්වා දුන්නා. සාක්ෂිකරුවන්ට නිසි ගෞරවයක් ලබා දීමේ වැඩපිළිවෙළක් ද දැන් හඳුන්වා දී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ වැටුප් ගැටලුව නිසා නීතිඥවරුන් බැඳෙන්නේ නැහැ. ඒ නිසා අපි පසුගිය කාලයේ වැටුප්වල වෙනසක් සිදු කළා. ඒ අනුව දැන් නීතිඥවරුන් මේ දෙපාර්තමේන්තුවේ සේවාවට පැමිණෙනවා.

Social Sharing
නවතම පුවත්