ඉලංගෙයි තමිල් අරුසුකච්චි නායකත්වයට නම් දෙකක් යෝජනා වේ

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ නව නායකත්වය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්තිරම් සහ සිවඥානම් ශ්‍රීධරන් නාමයෝජනා භාර දී ඇති බව වාර්තා වේ.

ඉලංගෙයි තමිල්අරුසුකච්චි පක්ෂයේ ජාතික සමුළුව ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එහිදී පක්ෂයේ නව නායකයා තෝරාපත් කරගනු ලබන බව වාර්තා වේ.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී නව නායකයා තීරණය කිරීමටත් නව නායකත්වය සඳහා වැඩි නාමයෝජනා සංඛ්‍යාවක් ලැබුණහොත් ඊට පසුව පොදු කාරක සභාව රැස්වී නව නායකත්වය තීරණය කිරීමටත් පසුගිය දා රැස්වු මධ්‍යම කාරක සභාවේ දී තීරණය වී තිබේ.

කෙසේ වෙතත් මීට පෙර කිසිදු අවස්ථාවක පක්ෂයේ නායකයා තෝරා ගැනීමට ඡන්දයක් නොපැවතුන අතර පක්ෂය විසින් ඒකමතිකව තෝරා ගැණුන පුද්ගලයා නායකයා ලෙස තෝරාපත්කර ගනු ලැබීය.

එහෙත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් වනු ඇති බව දේශපාලන විචාරකයින් සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරි මැතිවරණවලදී සුළු පක්ෂවල සහාය යටතේ ආණ්ඩුවක් පිහිටුවීමට මෙන්ම ජනාධිපතිවරණ ජයග්‍රහණයට දෙමළ පක්ෂවල හැසිරීම ප්‍රධාන සාධකයක් වේ.

Social Sharing
නවතම පුවත්