මේ මාසය අවසන් වෙද්දී රට බංකොලොත්භාවයෙන් නිදහස්…

රට බංකොලොත්භාවයෙන් නිදහස් කළ වහාම නීතිපති දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් ‍දෙපාර්මේන්තුව, අධිකරණ පද්ධතිය මෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආදි ආයතනවල පවතින සේවක හිඟය ඇතුළු අර්බුදවලට විසඳුම් ලබාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (02) ප්‍රකාශ කළේය.

‍දෙසැම්බර් මාසය අවසන් වන විට රට බංකොලොත්භාවයෙන් රට නිදහස් කර ගැනීමට හැකි වන බව ද වජිර අබේවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශ වැය ශිර්ෂයන් පිළිබඳ විවාදයේදී සිය අදහස් ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේ ද පැවසීය.

අධිකරණ කටයුතු හා බන්ධනාගාර සහ ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඉදිරිපත් කරලා තිබෙන්නෙත් විශේෂයෙන් බංකොලොත් වූ රටක ඉදිරිපත් වෙලා තිබෙන වැය ශීර්ෂ ගැන තමයි නියෝජ්‍ය කථානායකතුමනි අපි කතා කරන්නෙ. ඇත්ත වශයෙන් අපේ අධිකරණ ඇමැතිතුමා ඒ වගේම, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය, ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්තුමා ඇතුළු සමස්ත නිලධාරින්ට මේ සභාවේ ස්තූතිය පිරිනැමෙන්න ඕනෑ. මොකද අපේ වසන්ත පෙරේරා මහත්තයත්, තුෂාර උපුල්දෙණිය මහත්තයත් ඇතුළු සියලු දෙනාම ඉතාම අමාරු යුගයක අඩුම පහසුකම් මැද්දේ ප්‍රශ්න ගණනාවක් විසඳමින් ඉදිරියට ගෙන යෑම ගැන ඇමැතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලවලට අපේ ස්තූතිය පුද කරන්න කැමතියි.

නීතිපති දෙපාර්තමේන්තුවේ විශාල ප්‍රශ්න ගණනාවක්. සේවකයෝ විශාල හිඟයක්. අනිත් පැත්තෙන් ගත්තම මේ දෙපාර්තමේන්තු කිහිපයටම එක්කො රාජ්‍ය පරිපාලන විෂයෙන් ඉවත් කරලා Close Department හැටියට, එහෙම නැතිනම් තමන්ගේ දෙපාර්තමේන්තුව හැටියට හසුරුවා ගැනීමේ අයිතිය එක්කො ලබා දෙන්න ඕනෑ. එහෙම නැති නම් මේ දෙපාර්තමේන්තු ගෙනියන එක විශාල ප්‍රශ්නයක්.

මං හිතනවා රජයක් හැටියට විශේෂ ප්‍රමුඛත්වයක් දිය යුතු අමාත්‍යාංශයක් තමයි අධිකරණ අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශය විජයදාස ඇමැතිතුමා ඉතාම හොඳින් ඒ කටයුතුවලට තිබෙන අවම මුදල් ප්‍රමාණය ඇතුළේ හසුරුවමින් තිබෙනවා. මං හිතන්නේ මේ වර්ෂය තුළ එයට විශාල සහයෝගයක් ලබා දිය යුතුව තිබෙනවා.

Social Sharing
නවතම පුවත්