ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් විජයග්‍රහණයට පාර කැපූ ඉන්දීය කත!

සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැනියක සිටින බවට වන කියමනක් තිබේ. එහෙත් පසුගියදා ඉන්දියාවේදී නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී හයවැනි වරටත් කුසලානය දිනා ගැනීමත් සමඟ ඔස්ට්රේලියානුවන් එය සෑම මිනිසකු පිටුපස පමණක් නොව සෑම මිනිස් කණ්ඩායමක් පිටුපසම සාර්ථක ගැහැනියක සිටින බවට වෙනස් කර තිබේ. කෝටි 142ක ඉන්දීය ජනතාවගේ බලාපොරොත්තු අහමදාබාද් නගරයේ කළුවර අහසේ බොඳ කර දැමීමට ඔස්ට්රේලියානුවන්ට පසුබිම සකස් කර දෙනු ලැබුවේ එවැනි ගැහැනියකි. ඔස්ට්රේලියානුවන්ගේ විශිෂ්ට ක්රීඩා දස්කම්වලට වඩා වැඩිපුර කතාබහට ලක් වූයේ ද ඒ කාරණාවමය.
ඉන් කියැවෙන්නේ ආසියාතික උපමහාද්වීපයේ විශාලතම රාජ්යයේ දෙවිවරුන්ට පමණක් දෙවැනි කොට සලකන ඉන්දීය ක්රිකට් ක්රීඩකයන්ගේ අපරාජිත ලෝක කුසලාන ගමන එක් රැයකින් ආපසු හැරවීමට ඔස්ට්රේලියානුවන් සමත් වී ඇත්තේ ඔවුන්ගේ ක්රීඩා දස්කම්වලින් පමණක් නොවන බවය. ඉන්දියාවේ රඳවා ගැනීමට උත්සාහ කළ ලෝක කුසලානය ඔස්ට්රේලියාවට රැගෙන යෑමට අවශ්ය වටපිටාව සකස් කරගැනීමට ඔවුන්ට සහාය වී ඇත්තේ ඉන්දියාවේම කාන්තාවක් බව දැන් හෙළි වී තිබේ.
ඉන්දියාවේ කර්ණාටක ප්රාන්තයේ මැංගලෝර් නගරයේ පරපුරකට අයත් උර්මිලා රොසායිරෝ නමැති මේ 34 හැවිරිදි දිරිය සම්පන්න හා නැණවත් කාන්තාව මෙවර ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස බඳවා ගැනීමට ඔස්ට්රේලියා ක්රිකට් ආයතනය පියවර ගෙන ඇත්තේ ලෝක කුසලානය අතට ගැනීමට ඇයට කළ හැකි රාජකාරිය ගැන පැහැදිලි අවබෝධයකින් යුතුවය. දෝහා කටාර් රාජ්යයේ උපත ලැබුව ද මේ හුරුබුහුටි කාන්තාවගේ මාපියන් මැංගලෝර් පරපුරකින් පැවත එන බැවින් ඇය ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර හොඳින් දැන සිටියාය. හින්දි, කන්නඩා හා කොන්කානි වැනි ඉන්දියාවට ආවේණික භාෂා ත්රිත්වයක්ම චතුර ලෙස කතා කළ හැකි උර්මිලා අවසන් මහා තරගය දක්වා ඔස්ට්රේලියානු පිලට අතිශය වැදගත් වූ ඉන්දියාවේ ආගන්තුක තණතීරු සම්බන්ධව තොරතුරු රැසක් සොයා ගත් බව වාර්තා වේ. ‘ගමේ භාෂාවෙන්ම‘ තණතීරු සකස් කරන සේවකයන් සමඟ කතාබහ කිරිමට හැකියාව ඇති මේ කාන්තාව සැබැවින්ම ඔස්ට්රේලියානුවන්ගේ ජයග්රහණයේ තීරණාත්මක පංගුකාරිනිය බව දැන් පැහැදිලිය.
උර්මිලා ඒ වන විට ඔස්ට්රේලියානු කාන්තා පිලේ කළමනාකාරිනිය ලෙස කටයුතු කර තිබීම නිසා ඇය ලෝක කුසලාන තරගාවලියට එක් කරගැනීමට ඔස්ට්රේලියානු පිලට පහසු විය. ඇරත් ඒ වනවිට ඇය පදිංචිව සිටියේ ද ඔස්ට්රේලියාවේ බැවින් විශ්වාසනීයත්වයත් ඉහළින්ම තිබිණි. ක්රීඩා කළමනාකාර උපාධියකට හිමිකම් කියන බැවින් ඇගේ සුදුසුකම් මේ රාජකාරියට හොඳටෝම ප්රමාණවත් වී තිබිණි. ඉන්දීය භූමියේ දිග පළල හොඳින් දැන සිටි විශ්වාසනීය තොරතුරු රැසක් සොයා ගත හැකි ඉන්දීය පුද්ගලයකුට ඔස්ට්රේලියානුවන්ට උර්මිලා තරම් සුදුසුකම් ඇති තවත් කෙනකු නොවීය.
ලිපි ලේඛන කටයුතුවලට අමතරව කණ්ඩායමේ කළමනාකාරිය ලෙස ඇගේ රාජකාරියට අයත් කටයුතු රැසකි. ඔස්ට්රේලියානුවන්ට ඉන්දියාවේ නවාතැන් ගැනීමේදි, ආහාරපාන තෝරා බේරා ගැනීමේදී සහ ගමන් බිමන් යෑමේදී අවශ්ය උපදෙස් ලබා ගැනීමේ පහසුව ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයකු කළමනාකරු ලෙස බඳවා ගැනීමෙන් නොඅඩුව ලැබෙන බව බැලූ බැල්මට පෙනේ. එහෙත් ඒවා අවශ්ය වන්නේ කුසලානයක ජයග්රහණයකට නොව කණ්ඩායමක පහසුව සඳහා පමණි. එසේ නම් උර්මිලාගේ දායකත්වය ලෝක කුසලාන ජයග්රහණයට වාසිදායක වූයේ කෙසේදැයි යන්න විමසා බැලීම වටී.
පළමුව කිව යුත්තේ ඔස්ට්රේලියානුවන්ගේ ජයග්රහණය එක් රැයකින් තීරණය වූව ද, එය මාස කිහිපයක් පුරා සිදු කළ මෙහෙයුමක ප්රතිඵලයක් බවය. අනික් අතට ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියක් ඉන්දියාවේ පැවැත්වෙද්දී ඒ බළකොටුවට රිංගා කුසලානය උදුරා ගැනීම අතිදුෂ්කර මෙහෙයුමක් බව අමුතුවෙන් කිව යුතු ද නැත. භූමියේ වාසිය, ක්රීඩාලෝලීන්ගේ සහාය, දඟපන්දුවට සුදුසු තණතීරු වැනි සාධක රැසකින් පෝෂණය වී සිටි ඉන්දීය පිල තරගාවලියේ ආරම්භයේ සිටම දැක්වූ පෙරළිකාර දස්කම් කවුරුත් දනී. එවැනි පසුබිමකදී ලෝක කුසලානය ජයගැනීම ආගන්තුක කණ්ඩායමකට ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.
විශාලතම අභියෝගය තණ තීරුවල හැසිරීමය. කවුරු කෙසේ කීවත් ඒවා සකස් කෙරෙන්නේ සත්කාරක රටේ කණ්ඩායමට වාසිදායක විදිහටය. ප්රධානීන්ගෙන් ලැබෙන උපදෙස් පරිදි තණ තීරු සකස් කරනු ලබන්නේ ක්රීඩාංගණයේ සේවය කරන සුළු සේවකයන්ගේ දෑතිනි. තරගයට පෙර තණ තීරුව පරීක්ෂා කිරීමට වඩා ඔවුන් සමඟ කතාබහ කිරීමෙන් ලබා ගත හැකි තොරතුරු රැසකි. සුළු සේවකයන්ගෙන් බහුතරයකටම ඉංග්රීසි බැරිය. කණ්ඩායමේ කළමනාකාරීත්වයෙන් ඔබ්බට ගිය උර්මිලාගේ රාජකාරියේ ස්වභාවය ගැනත්, ඔස්ට්රේලියානු පිලේ ජයග්රහණය ගැනත් අවබෝධ කරගැනීමට ඒ ටික හොඳටෝම ප්රමාණවත් ය.
අනික් අතට ඇය ඊට පෙර ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් පිල ඉන්දියාවේ සංචාරය කරද්දී කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කරමින් මේ හා සමාන රාජකාරියක් ඉටු කරමින් සිය කණ්ඩායමේ ජයග්රහණයට විශාල දායකත්වයක් ලබා දී තිබිණි. මෙවර ලෝක කුසලානය අත්කර ගැනීමට උර්මිලාගේ දායකත්වය කෙතරම් වටින්නේදැයි අවබෝධ කරගැනීමටත් එරට ක්රිකට් පරිපාලනයට එය කදිම නිදසුනක් වී තිබිණි.
කිසිදු අපහසුතාවකින් තොරව ඔස්ට්රේලියානු කණ්ඩායමට අවශ්ය සියලු ආකාරයේ සහයෝගය කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස උර්මිලාගෙන් නොඅඩුව ඉටු වී තිබේ. ඇගේ මාපියන් වන අයිවි සහ වැලන්ටයින් මැංගලෝර් නුවර සම්ප්රදායික පරපුරක කොටස් කරුවෝ වෙති.
සාමාන්යයෙන් මැංගලෝර් ලොව පුරා ප්රකට වී ඇත්තේ අතිශයින්ම සුන්දර වෙරළ තීරයක් ඇති සංචාරක ගමනාන්තයක් ලෙසටය. එහෙත් එහි ඇති සුන්දරත්වය නගරයට හෝ වෙරළ තීරයට පමණක් සීමා වූවක් නොවේ. එහි උපත ලැබූ පුද්ගලයන් නැණවත් බවින්ද හැඩයෙන් ද පිරිපුන් වූවෝ වෙති. එහි කාන්තාවන් ද අතිශය සුන්දරය. විශ්ව රූ රැජන කිරුළ දිනූ අයිෂ්වර්යා රායිගේ සිට ලොව පුරා පිරිමින්ගේ සිත් වසඟ කළ දීපිකා පදුකෝන් දක්වා බොලිවුඩ් සිනමාව ආක්රමණය කළ නිළියන් බිහි වූයේ ද මැංගලෝර්වලිනි. කොටින්ම බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද අවුරුදු 5ක් වනතුරු හැදී වැඩුණේ මේ කියන සුන්දර නගරයේය. සුනිල් ශෙට්ටි වැනි බොලිවුඩ් සිනමාව ජයගත් නළුවන් ද, සංජේ මංජේකර් වැනි ක්රිකට් පිටිය ජයගත් ක්රීඩකයන් ද බිහි වූයේ මැංගලෝර් නුවරිනි. උර්මිලා කටාර් රාජ්යයේ උපන්නේ ඇගේ මවුපියන් එහි රැකියාවේ නිරතව සිටි බැවිනි.
උර්මිලාගේ මවුපියන් කටාර් රාජ්යයට සේන්දු වූයේ හැත්තෑව දශකයේ අගභාගයේදීය. පියා වැලන්ටයින් එරට ප්රකට මූල්ය සමාගමක මූල්ය විධායක නිලධාරියකු ලෙස සේවය කළ අතර, මව අයිවි එහි පාසල් ගුරුවරියක ලෙස රැකියාවේ නිරතව සිටියාය. දශක 4කට ආසන්න කාලයකට පසු උපන් බිම වන මැංගලෝර් වෙත නැවත පැමිණ ඔවුහු කෝපි වත්තක් මිල දී ගෙන එහි කටයුතු කරමින් සිය සැඳෑ කාලය ගත කරමින් සිටිති.
රොසායිරෝ පවුලේ වැඩිමලා ඩේවිඩ් විකාස් වෛද්යවරයෙකි. විවාහ වීමෙන් පසු ඔවුන් දැන් පදිංචිව සිටින්නේ එංගලන්තයේය. දෙවැනියා රෝස් අයිස්වරීය. ඇය ද වෘත්තියෙන් වෛද්යවරියකි. ඇය ද විවාහ වීමෙන් පසු ස්කොට්ලන්තයේ පදිංචිව සිටින්නීය. තුන්වැන්නා උඩේ රොසායිරෝය. ඔහු කටාර් රාජ්යයේ විශ්වවිද්යාලයක කථිකාචාර්යවරයෙකි. උර්මිලා බඩපිස්සිය. ව්යාපාර පරිපාලන උපාධිධාරිනියක වන උර්මිලා ළමා වියේදී නොම්මර එකේ ටෙනිස් ක්රීඩිකාවකි. ඔරු පැදීමේ ක්රීඩාවටත්, බාස්කට් බෝල් ක්රීඩාවටත් එක සේ දස්කම් පෑවත් එවකට කටාර් රාජ්යයේ ඇය තරම් හපන්කම් ඇති ටෙනිස් ක්රීඩිකාව සිටියේම නැත. එහෙත් විවිධ ආබාධවලට ගොදුරු වීම නිසා කල් යත්ම ඇය ටෙනිස් ක්රීඩාවෙන් ඈත් වී වැඩිදුරට අධ්යාපනයට යොමු වූවාය.
ඇගේ ජීවිතය වර්ණවත් වීමට අඩිතාලම වැටුණේ ක්රීඩා කළමනාකාර උපාධිය හැදැරීමත් සමඟය. මීට වසර 7කට පමණ පෙර සිය මවුපියන් සමඟ නැවත මැංගලෝර් වෙත පැමිණීමෙන් පසු මුලින්ම ඇය භූපති ටෙනිස් ගම්මානයට එක් වූවාය. එය පවත්වා ගෙන ගියේ ඩේවිස් කුසලාන ජාත්යන්තර ටෙනිස් පිටියේ දස්කම් පෑ ඉන්දියාවේ හිටපු ටෙනිස් ක්රීඩකයකු සහ පුහුණුකරුවකු වූ ක්රිෂ්ණ භූපතිය. වෘත්තීය මට්ටමේ ටෙනිස් ක්රීඩිකාවක ලෙස නැඟී සිටීමට නොහැකි වූ ඇයට ක්රීඩා කළමනාකරණ උපාධියට යොමු වන ලෙස උපදෙස් සපයනු ලැබුවේ ක්රිෂ්ණ භූපති විසිනි. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඇයට කටාර් ටෙනිස් සම්මේලනයේ රැකියාවක් ලැබුණු අතර, වසර තුනක සේවා ගිවිසුමකට අනුව ඇය යළි කටාර් දේශය බලා පිටත්ව ගියාය.
එම කාලසීමාවෙන් පසු ඇය ඔස්ට්රේලියාවට සේන්දු වූයේ එරට ටෙනිස් ඇකඩමියක රැකියාවක් සොයා ගැනීමේ අරමුණ ඇතිවය. එහෙත් ඇගේ ඉරණම තීන්දු වී තිබුණේ ටෙනිස් පිටියේ නොව ක්රිකට් පිටියේ ය. ඇඩිලේඩ් ක්රිකට් සමාජයේ කළමනාකාරිනිය ලෙස ඇයට රැකියාව ලැබීමත් සමඟ ඇගේ අනාගතය තීන්දු විය.
ඇගේ පියා කියන්නේ ක්රිකට් ක්රීඩාව ගැන මෙලෝ හසරක් නොදත්, ඒ ගැන කිසිදු ඇල්මක් නොදැක් වූ උර්මිලා ඇඩිලේඩ් ක්රිකට් සමාජයේ රැකියාව ලැබීමෙන් විමතියට පත් වූ බවය. එය ඇගේ සිනහවට කාරණාවක් වූ බවය. ඇය ඊටත් වඩා පුදුමයට පත් වූයේ පසුකාලීනව ඔස්ට්රේලියා ක්රිකට් ආයතනය ඇය එරට ජාතික කාන්තා ක්රිකට් පිලේ කළමනාකාරිනිය ලෙස තෝරා ගැනීමය. ඔස්ට්රේලියානු ජාතිකයකු නොවන, එවකට ඉන්දීය ගුවන්ගමන් බලපත්රයක් සහිත උර්මිලා එවැනි රාජකාරියකට ඔස්ට්රේලියානු ජාතික කණ්ඩායමකට බඳවා ගැනීම සැබැවින්ම පුදුමයට කරුණක් බව ඇගේ පියා සඳහන් කළේය.
පසුගිය වසරේ අගභාගයේදී ඇයට කටාර් රාජ්යයේ පැවැති ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ ක්රීඩාංගණ කළමනාකාරිනියක ලෙස මාස 4ක කොන්ත්රාත් ගිවිසුමක් ලැබී තිබූ අතර, ඔස්ට්රේලියා ක්රිකට් ආයතනයෙන් නිවාඩු ගත් ඇය එම මෙහෙයුමට එක් වුවාය.
උර්මිලාට මෙවර ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්රේලියානු පිලේ කළමනාකාරිනිය ලෙස කටයුතු කිරීමේ රාජකාරිය පැවැරුණේ යළි ඔස්ට්රේලියාවට පැමිණි විගසමය. එය ඇයට අලුත් අත්දැකීමකි. අත්හදා බැලීමකි. ඔස්ට්රේලියානු ක්රිකට් ආයතනයටනම් කුසලානය කරා යන දුෂ්කර ගමනට අත්හදා බැලීමකට වඩා උපායමාර්ගික ප්රවේශයකි. අතිශයින්ම සාර්ථක පියවරකි.
එය ඇදහිය නොහැකි කැපී පෙනෙන ජයග්රහණයක් බව උර්මිලාගේ පියා පවසයි. ඔහු සිය බාල දියණිය අමතනු ලබන්නේ ‘බේබි‘ සුරතල් නාමයෙනි. කැපවීම, නොපසුබට උත්සාහය හා දිරියසම්පන්න බව ‘බේබි‘ගේ සාර්ථකත්වයට හේතුව බවත් ඔහු කීවේය. ජයගත නොහැකි අභියෝග ලොව නැති බව ඇය පෙන්වා දී ඇතැයි ද ඔහු පැවැසීය.
ඔහු ‘බේබි‘ අවසන් වරට දුටුවේ මේ වසරේ මුල් භාගයේදීය. ලද විවේකයකදී ඇය සිය මාපියන් දැක බලා ගැනීමට මැංගලෝර් කෝපි වත්තට පැමිණියේ පසුගිය මාර්තුවේදීය.
‘අපි බැංගලෝර් හා පූනේවලදී පාකිස්තානයට හා බංග්ලාදේශයට එරෙහිව ඔස්ට්රේලියාව සහභාගි වුණු තරග නැරඹුවා. අපිට ෆයිනල් මැච් එක බලන්නත් ආසාවක් තිබුණා. ඒත් කෝපි වත්ත දාලා යන්න බැරි නිසා ඒ අවස්ථාව මඟ හැරුණා.‘ ඇගේ මව අයිවි එසේ කීවාය.
ඔස්ට්රේලියානුවන්ගේ ලෝක කුසලාන ජයග්රහණයට පාර කැපූ උර්මිලා රොසායිරෝගේ රාජකාරිය තවම අවසන් වී නැත. ඇය හෙට අනිද්දාට නැවත ඔස්ට්රේලියානු කාන්තා පිලේ කළමනාකාරිනිය ලෙස වැඩ භාර ගැනීමට නියමිතය. ඇගේ ඊළඟ මෙහෙයුම වන්නේ ලබන මස ආරම්භ වන ඔස්ට්රේලියානු කාන්තා ක්රිකට් පිලේ ඉන්දීය සංචාරයයි. එය ඔස්ට්රේලියාවට තවත් ජයග්රහණයක් අත්කර දෙන සාර්ථක තරග සංචාරයක් වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ.
ෆවුස් මොහොමඩ්
| Silumina’
Social Sharing
අවකාශය නවතම පුවත්