නීතියේ ආධිපත්‍යය බිඳවැටීම ආණ්ඩුවක පිරිහීමට බලපානවා…

ජාතික හා මහජන ආරක්ෂාව, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම ආණ්ඩුවක පිරිහීමට බලපාන නිසා ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව ආණ්ඩුවට මතක් කරන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.

අය වැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා දෙවැනි දින විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණවලට පහරදීම අනුමත කළ නොහැක. ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කිරීම ගැන කටාර් රාජ්‍ය ඇතුළු ඊශ්‍රායල්, හමාස්වලට ස්තුතියි කීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. ගැටලුවක් තිබෙන නිසා අපේ හමුදාවේ සෙබළුන් සේවය හැර යාමක් සිදු වෙනවා. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අවිශ්වාසයක් සමාජය තුළ තිබෙනවා. මේ වසර තුළදී හැම මාසයකදීම අඩු වැඩි වශයෙන් මිනීමැරුම් 50ක්වත් සිදු වෙනවා. ඒ කියන්නේ පැය 14කට වරක් එක් මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙනවා. සෙබළුන්ගේ සාධාරණ ප්‍රශ්නවලට මේ වේදිකාව භාවිතා කළ යුතුයි. පොලිස්පති පත් කිරීම සම්බන්ධයෙන් වන ගැටලුවේදී ඒ දෙපාර්තමේන්තුවේ තිබෙන විශ්වසනීයත්වය කඩා වැටෙනවා. ඕනෑම ආයතනයක ප්‍රගතිය හෝ කඩා වැටීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පර්යේෂණයක් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය විය යුතුයි. එමඟින් ආයතනවල අඩුපාඩු හඳුනාගෙන ඉදිරියට පවත්වා ගැනීමට හැකියි. පාර්ලිමේන්තු පොලිසියේ ඉතාම දක්ෂ නිලධාරීන් සිටිනවා. වැටුපට අමතරව තුනෙන් එකක් ගෙවනවා. පාර්ලිමේන්තුවේ කොට්ඨාසයට ගෙවන්නේ නැහැ.

Social Sharing
නවතම පුවත්