ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටීමෝරයෙන් ගෞරව සම්මානයක්!

Freddy Gamage

අරුණ ශාන්ත නෝනිස්.

නැගෙනහිර ටිමෝරයේ නිදහස වෙනුවෙන් කරන ලද අරගලයට වෙනත් රටක සිවිල් සමාජ සහ මානව හිමිකම් ආරක්ෂා කිරිමේ ක්‍රියාධරයකු සහ මාධ්‍යවේදියකු ලෙස ලබා දෙන ලද අසීමීත සහයෝගයට ගෞරව දැක්වීමක් ලෙස නැගෙනහිර ටිමෝරයේ ජනාධිපති රාමෝස් හොර්ටා විසින් විශේෂ ගෞරව පදක්කමක් ප්‍රෙඩී ක්‍රිස්ටෝ ගමගේට මේ මස 27 (නොවැම්බර් 27, 2023) වෙනිදා නැගෙනහිර ටිමෝරයේ අගනුවරදී පළදවුනු ඇත.

සමාජ සාධාරණත්වය වෙනුවෙන් අත්නොහරින අරගලයක යෙදී සිටින ප්‍රෙඩී ක්‍රිස්ටෝට පමණක් නොව මේ එවන් බොහෝ අරගලකරුවන්ට කරනු ලබන සුවිශේෂී ගෞරවයක් ලෙස අපි සලකමු.

පාසල් ජීවිත කාලය තුළදී පවා ප්‍රෙඩී තම කාලය සහ ශ්‍රමය වැය කළේ පීඩිතයින්ගේ නිදහස වෙනුවෙනි.

1979/81 කාල වකවානුවේදී මීගමුව ශාන්ත මරියා මහා විදුහලේ උසස් පෙළ සිසුවකු ලෙස කටයුතු කරන කාලයේ දී මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය ස්ථාපිත කර එය ඉදිරියට ගෙන යාමට යොවුන් ප්‍රෙඩී ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා සමඟ අත්වැල් බැඳගෙන සිටියා අපට පමණක් නොව බොහෝ දෙනෙකුට හොදට මතකය.

ඡනතාව බලසතු කිරීමේ මහා කාර්යභාරයට හවුල් වෙමින් සිටින අතරේදී ප්‍රෙඩී තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමටද අමතක කළේද නැත.

ඒ අනුව බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස බී.ඒ උපාධියදත්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳව උසස් ඩිප්ලෝමාවත් ලබා ගත්තේය.

ප්‍

රතිපත්තිමය කරුණු පදනම් කරගෙන පසුකාලයේදී ජනාවබෝධ කේන්ද්‍රයේ පූර්ණකාලීන සේවයෙන් ඈත් වුණත් ප්‍රෙඩී ජනතා අරගලය අත් හළේ නැත.

” තුන්වන ලෝකයේ මිතුරෝ” නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඔහු විවිධ සමාජ ක්‍රියාකාරකම් වල නිරත විය.

මේ නිසාම ඔහුට මරණ තර්ජන වලට මුහුණ දීමට සිදු වූ අතර 88/ 89 භීෂණ සමයේදී තම ජීවිතය බේරා ගැනීමට දේශපාලන සරණාගතයෙක් ලෙස පිලිපීනයේ ගත කිරීමට සිදුවිය.

නැගෙනහිර ටිමෝරයේ නිදහස් අරගලයට වැඩි දායකත්වයක් ලබා දීමට ඔහුට අවස්ථාව සැලසෙන්නේ එම කාල වකවානුවේදීය.

පසුව ලංකාවට පැමිණෙන ඔහු සාධාරණත්වය වෙනුවෙන් කරනු ලබන තම අරගලය දිගටම කරගෙන ගියේය.

මේ නිසාම ඔහුට වරක් පිලිපීනයේ මැනිලා ගුවන්තොටුපොළේ දී එම රටට ඇතුළුවීමට ඉඩ නොදුන් අතර බලධාරීන් විසින් ඔහුව නැවත ශ්‍රී ලංකාව වෙත එවන ලදී. මේ අවස්ථාවේදී ගුවන්තොටුපළේදී තම විරෝධතාවය දැක්වීමට ප්‍රෙඩී බිය නොවීය. මේ පිළිබඳව ඡායාරූප වර්තා කීපයක් ජාතික පුවත් පත් වල පළවිය.(ඡායාරූපය බලන්න)

” මීපුර ” ප්‍රාදේශීය පුවත්පත ආරම්භ කරන ප්‍රෙඩී ඉතාමත් අවම පහසුකම් යටතේ එය ජාතික මට්ටමේ පිළිගැනීමක් ඇති පුවත්පතක් බවට පත් කිරීමට කටයුතු කලේය. අදටත් මීපුර වෙබ්පුවත් ලිපියක් ලෙස සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කරයි.

මීගමුවේ මත් කුඩු මුදලාලිලාගේ සහ මජර දේශපාලනඥයින්ගේ සැබෑ සුරූපය ලොවට හෙළිකිරීමට ප්‍රෙඩී තරම් කැපවීමකින් කටයුතු කළ වෙනත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් සහ මාධ්‍යවේදියෙක් නැති තරම්ය. මේ නිසාම මීගමුවේ මැර දේශපාලනය දේශපාලනයේ ගොදුරක්ව රෝහල් ගතවීමට පවා ඔහුට සිදු විය.

එහෙත් ඔහු තම අරගලය අත් හළේ නැත.

ප්‍රෙඩී ගමගේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්වීමක කතා කරයි

සාධාරණ සමාජයක් වෙනුවෙන් කරන අරගලය වෙනුවෙන් සැමවිටම පෙනී සිටින ප්‍රෙඩී අපට නිතර දෙවේලේ වීදියේ අරගලවලදී මුණ ගැසේ.

වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ස්ථාපිත කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් ප්‍රෙඩී ඒ ඔස්සේ වෙබ් මාධ්‍යවේදීන් සදහා ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීම අගය කළ යුතුය.

මම ඔහු හදුන්වන්නේ ” මතවාද නිර්මාණය කරන මාධ්‍යවේදීයා” ලෙසය.

යහපත් සමාජයක් බිහි කිරිම වෙනුවෙන් ඔහුගේ මේ මහඟු කැප වීමට අපගේ ගෞරවාදරය හිමිවෙන අතර නැගෙනහිර ටිමෝරයේ රාජ්‍යයේ ගෞරවනීය සම්මානයට පාත්‍ර වීම ගැන අපගේ සුබපැතුම් පුද කරමු.

අරුණ ශාන්ත නෝනිස්

ජනෝදානය

2023.11.25.

උපුටා ගැනීම – sinhala.srilankabrief.org

Social Sharing
අවකාශය නවතම විශේෂාංග