අස්වැසුමට සුදුසුකම් නොලැබූ සමෘද්ධිලාභීන් ට සුබ පණිවිඩයක්!

අස්වැසුම සදහා සුදුසුකම් නොලැබූ සමෘද්ධි ලාභීන් සියලු දෙනාටත් ලබන දෙසැම්බර් වන තුරු සමෘද්ධි සහනාධාරය ලබා දෙන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වේ.

ජනවාරි මාසයේ ආරම්භවීමට නියමිත අස්වැසුම වැඩසටහ‍නේ දෙවන අදියරේදී දරිද්‍රතාවය එකම නිර්ණායකය විය යුතු බවත්, දරිද්‍රතාවය මැනීම සදහා අඩු නිර්ණායක ප්‍රමාණයක් ‍යොදා ගත යුතු බවත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

අස්වැසුම පළමු පියවර අසාර්ථක වීමට යොදා ගත් පරාමිතීන් සංඛ්‍යාව වැඩි වීම හා එම පරාමිතීන්වලට තබන ලද බර හේතු වූ බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහනේ ප්‍රගතිය සහ වර්තමාන තත්ත්වය පිළිබද විමසා බැලීම සදහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පසුගියදා (15) කැඳවා තිබූ අවස්ථාවේදී කාරක සභා සභාපතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම, දරිද්‍රතාවය මැනීම සඳහා විදුලි බිල යොදාගැනීමේ වැදගත්කම යළි අවධාරණය කළ කාරක සභා සභාපති පාඨලී චම්පික රණවක මහතා විදුලි ඒකක 30 ට අඩු විදුලි පරිභෝජනය යන පරාමිතිය මේ සඳහා භාවිතා කළ හැකි බවත්, ලංකා විදුලි බල මණ්ඩලය හා සම්බන්ධීකරණය කරගනිමින් එම පරාමිතිය භාවිත කිරීමට කටයුතු කරන ලෙස ද උපදෙස් දුන්නේය. එමෙන්ම, විදුලි බිල යන පරාමිතිය සඳහා 60%ක බර තැබීමක්ද, දරිද්‍රතාවය මැනීම සඳහා භාවිතා කරන අනෙකුත් පරාමිතීන් සඳහා 40%ක බර තැබීමක් ද කරන ලෙස සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත උපදෙස් ලබා දුන්නේය.

සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමක් සිදු කළ ද, රජයට හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත ජනතා ප්‍රසාදයක් හිමි නොවීමට හේතුව ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ දුර්වලතා හේතුවෙන් බව පෙන්වා දුන් සභාපතිවරයා; උගත් විරැකියාවෙන් පෙළෙන 20% කට වැඩි පිරිසක් වෙසෙන ශ්‍රී ලංකාව සඳහා අප්‍රිකාව වැනි රටවලට ගැලපෙන පරාමිතීන් නොගැලපෙන බව ද අවධාරණය කළේය.

2023 ජූලි මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන් 1,367,524 ක් සඳහා රු. 8,525,999,000/= ක මුදලක් ද, අගෝස්තු මාසයේ ප්‍රතිලාභීන් 1,365,076 ක් සඳහා රු. 8,496,698,750 ක් ද ගෙවා ඇති බව මෙහිදී හෙළිදරව් විය. 2024 අයවැය මගින් අස්වැසුම වැඩසටහන සඳහා බිලියන 180.5 ක් වෙන් කර ඇති අතර ඒ අනුව මිලියන දෙකකට මෙම ප්‍රතිලාභය ලබා දිය හැකි බව මෙහිදී සඳහන් විය.

අස්වැසුම සම්බන්ධයෙන් අභියාචනා 1,000,000 ලැබී ඇති බවත් ඉන් මේ වන විට අවසන් කර ඇත්තේ 2,00,000 ක් පමණි. ඒ අනුව ඉන් 119,794ක ප්‍රමාණයක් වැඩසටහනට ඇතුලු කර ගෙන ඇති අතර, 4655 ක අභියාචනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර ඇත.

අස්වැසුම හා සමෘද්ධි ප්‍රතිලාභීන් දැනට ලක්ෂ 18 ක් සිටින බවත් ඉන් ලක්ෂ 395,000 ක් වන සමෘද්ධි ප්‍රතිලාභීන් සංඛ්‍යාවක් අස්වැසුම වැඩසටහනට ඇතුලත් වී නොමැති බවත් මෙහිදී අනාවරණය වූ අතර අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව දෙසැම්බර් මාසය වනතුරු මෙම සියලු දෙනා ප්‍රතිලාභ ලබන බවත් මෙහිදී අනාවරණය විය. එම පිරිසට හා මෙතෙක් අස්වැසුම වැඩසටහන සදහා ඉල්ලුම් නොකළ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ජනවාරි මාසයේ ආරම්භ වන අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ හැකි බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ.

ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රියාවලිය සඳහා ග්‍රාමීය මට්ටමේ විශේෂිත නිලධාරින් අවශ්‍ය වන අතර, ඒ සඳහා නිශ්චිත වශයෙන් ම වෙන් වූ නිලධාරියෙක් සිටීම අත්‍යවශ්‍ය බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කළහ. ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව සම්බන්ධ ගැටළුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් විසඳා ගෙන අභියාචනා ක්‍රියාවලිය සඳහා ඔවුන් සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අශෝක් අබේසිංහ, බී.වයි.ජී රත්නසේකර, සංජීව එදිරිමාන්න, එස්.එම් එම් මුෂා‍රෆ් හා ලලිත් එල්ලාවල යන මහත්වරු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

Social Sharing
නවතම පුවත්