ඇමරිකාවේ ඉල්ලීම මත ගාසා තීරයට ඉන්ධන සැපයීමට ඊශ්‍රායලයේ එකඟතාව

වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර ඊශ්‍රායලය දිනකට ඉන්ධන නැව් දෙකක් භූමියට ඇතුළු කිරීමට තමන් එකඟ ව තිබූ බවයි.

මානුෂීය සැපයුම් බෙදා හැරීමට හැකි වන පරිදි ගාසා තීරයට ඇතුළු වීමට තවත් ඉන්ධන සඳහා ආධාර ආයතන බලපෑම් කරමින් සිටි බව විදෙස් වාර්තා පවසයි.

එක්සත් ජාතීන්ගේ පලස්තීන ආධාර ඒජන්සියට තම ට්‍රක් රථ බලගැන්වීමට සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට සෑම පැය 48කට වරක් ඉන්ධන ලීටර් 120,000ක් ලබාදීමට ඊශ්‍රායලය කැපවී සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත.

තවදුරටත් විදුලිය විසන්ධි වීම වැළැක්වීමට විදුලි සංදේශ සමාගම් බල ගැන්වීම සඳහා තවත් ලීටර් 20,000 ක් ලබා දෙන බව ද ගිවිසුමේ දක්වා ඇති බව සඳහන් වේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ගාසාහි ප්‍රධාන විදුලි සංදේශ සමාගම් වන පල්ටෙල් සහ ජව්වාල් යන සමාගම් තමන්ට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමෙන් පසු ඔවුන්ගේ විදුලි සංදේශ දැන් අර්ධ වශයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බවය.

Social Sharing
නවතම පුවත් විදෙස්