මාත් එක්ක සෙල්ලම් බැහැ: – ජනපති ලෙස දෙන උපදෙස් වහාම ක්‍රියාත්මක විය යුතුයි!

ජනපතිගෙන් තැපැල් ලොක්කන්ට දෝස්මුරයක්
නුවරඑළිය තැපැල් හලේ හෝටලේ හැදීම:

තමා සමග සෙල්ලම් කිරීමට සූදානම් නොවන ලෙසත් ජනාධිපතිවරයා ලෙස තමා දෙන උපදෙස් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කළේය.

නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැඟිල්ල සංචාරක හෝටලයක් ලෙස පවත්වාගෙන යෑමට මෙතෙක් ලබා නොදීම සම්බන්ධව කරුණු විමසීමේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය.

එම ගොඩනැඟිල්ල සංචාරක ව්‍යාපාරය සඳහා ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමා දෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට තැපැල්පතිවරයා එකඟ නැතිනම් වෙනත් තැපැල්පතිවරයකු සොයා ගැනීමට තමාට සිදුවන බව තැපැල්පතිවරයාට දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා කීවේය.

එම නියෝගය සතියක් ඇතුළත ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් 4 වැනිදා මෙම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විණි.

එසේම 2022 දෙසැම්බර් 22 සහ 2023 අප්‍රේල් 10 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවන්හිදී ගනු ලැබූ තිරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීම් ද සිදු විය. දිස්ත්‍රික්කයේ රෝහල්වල ඖෂධ හිඟය පියවීම, පාසල් ගුරු හිඟය පියවීම, මාර්ග පිළිසකර කිරීම, පානීය ජල ගැටලුව විසඳීම ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ගනු ලැබූ කැඩිනම් පියවර සහ එහි ප්‍රගතිය පිළිබඳ නිලධාරීහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

එමෙන්ම එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නිරාකරණය කර ගැනීම ද සිදු කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික්කය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය මෙන්ම සුවපහසු සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා ගෙන තිබෙන තීන්දු කඩිනමින් ක්‍රියාත්මක කිරීම මගින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම සංචාරක ක්‍ෂේත්‍රය සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට නම් රාජ්‍ය නිලධාරීන් ලබාදී ඇති උපදෙස් අනුව කඩිනමින් තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රාජ්‍ය ආයතන ප්‍රධානීන් තම ආයතන විෂය පථය පිළිබඳ මනා දැනුමක් පවත්වා ගත යුතු බවත් එසේ නොමැති රාජ්‍ය ආයතන වලින් ජනතාවට සේවාවක් නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කිරීම පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත අද උදෑසන පැමිණි ජනාධිපතිවරයා එහි පහත මහලයේ ස්ථාපිත කර තිබූ ‘මැදරට රෙදිපිළි වෙළෙඳ සල’ විවෘත කිරීමට ද එක් විය. අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී. දිසානායක, වී. එස්. රාධක්‍රිෂ්ණන්, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පී.කේ. නන්දන මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු, ආරක්‍ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

Social Sharing
නවතම පුවත්