ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව අධිකාරියක්

New Authority for Regulation of Microfinance Institutions

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා  වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ සවස රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් කරඟාවලිය සඳහා  සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රටතුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000 ක් පමණ ක්‍රියාත්මක වුවද, ඉන් ලියාපදිංචි කර ඇත්තේ 05 ක් පමණක් බවයි. ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු නිසා අපහසුතාවයන්ට ලක්වූ ලක්ෂ 30ක පමණ පිරිසක් සිටින බව ද ඔවුන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභීන් බව ද ඔහු ප්‍රකාශ කළේය.

නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත යටතේ මෙම ආයතන සියල්ල ලියාපදිංචිය අනිවාර්ය කරන බවත්, ඒ අනුව මහ බැංකුවේ නියාමනයට හා නීතී පද්ධතියට එම ආයතන යටත් වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා , ඒ සඳහා අනුගත නොවන ආයතන හා පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 50 දඩ මුදලකටත්, වසර 05 දක්වා සිර දඩුවමකටත් යටත් වීමට සිදුවන බවද සඳහන් කළා..

2016 අංක 6 දරන ක්ෂුද්‍ර මුල්‍ය පනත පරිච්ජින්න කර ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත බලාත්මක කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට ඔක්තෝබර් 9දා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, 2021 මාර්තු 23 දින ලබාදෙන ලද කැබිනට් අනුමැතියකට අනුව සකස් කරන ලද මෙම ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් දැන් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

“අපේ රටේ ආර්ථිකය  සංකේන්ද්‍රණය වෙලා තියෙන්නෙ කොළඹ ආශ්‍රිතව. ග්‍රාමීය ප්‍රදේශවල ජනයාගේ ආර් ථිකය නංවාලන වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපේ රටේ බැංකු ණය ලබාදෙන්නේ යම් ඇපකරයක් තබාගනිමින්. ලැබෙන ආදායම් අනුව ණය දීම් ක්‍රමයක් ඔවුන්ගේ නැහැ. ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ ක්ෂේත්‍රයට පැමිණිලා  ඉන්නේ ඒ නිසා. ඒ අයගේ පැමිණීමෙන් ග්‍රාමීය ආර් ථිකයට යම් සහනයක් ලැබිය යුතුයි. නමුත් එයට වෙනස් තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. එයට හේතුව ජනතාවගේ අන්ත දරිද්‍රතාවය,” යි අයිතිය මාධ්‍ය කවය කලකට ඉහතදී සංවිධානය කරන ලද වැඩසටහනකදී ආර්ථික විශ්ලේෂක, වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන පැවසීය.

ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදයට  විසඳුමක් වශයෙන් ඔහු යෝජනා කළේ මෙවැන්නකි. “ක්ෂුද්‍ර මූල්‍ය පරිභෝජනය සඳහා ණය ලබා ගන්නවා නම් ඒ අයගේ ආදායම වැඩි කරගන්න රජය උපකාර කළ යුතුයි. ව්‍යාපාර සඳහා ගත් ණය ගෙවීමට නොහැකි නම් එහිදී රජය මැදිහත්වෙලා සහන සැලසිය යුතු වෙනවා. එය ඉටු නොවනවා නම් ජනතාව සියලු දෙනා සාමූහිකව එකඟවෙලා ණය නොගෙවන ස්ථාවරයකට පැමිණිය යුතුයි. ණය ගෙවිය හැකි ආකාරය, ඒ පිළිබඳ සැලැස්මක් ඉදිරිපත් කරමින් මේ කාලය තුළ ණය ගෙවන්නේ නැහැ කියන එකඟතාවයකට යා හැකියි. නමුත් එය තරමක් බැරෑරුම් යෝජනාවක්.”

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය මත ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීමේ බලපෑම සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් ඉදිරිපත් කල ආධ්‍යන වාර්තාව සඳහා පහත සම්බැඳිය වෙත පිවිසෙන්න..

Impact of providing Microfinance loans on the Economy and Living Quality of Rural People in Sri Lanka

Social Sharing
අවකාශය නවතම