වයස අවුරුදු16ට අඩු ගැහැණු ළමයින් 194ක් පසුගිය සැප්තැම්බර් මාසය තුළදී බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා

පරිශ්‍රය සැපයීමත් වරදක් – කාන්තා හා ළමා කාර්යාංශය

වයස අවුරුදු16ට අඩු ගැහැණු ළමයින් 194ක් පසුගිය සැප්තැම්බර් මාසය තුළදී බරපතල ලිංගික අපයෝජනයට ලක් වී ඇති බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මිය පැවසුවාය.

නියෝජ්‍ය පොලිස්පතිවරිය මේ බව ප්‍රකාශ කළේ කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහි ලිංගික හිංසනය පිළිබඳ කැලනි විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවන ලද වැඩසටහනකදීයි.
“ඇතැමුන් අතර වැරදි මතයක් තිබෙනවා, 16ට වැඩි නම්, එවැනි ගැහැණු ළමයින්ගේ කැමැත්ත අනුව, ලිංගික සම්බන්ධකම් පැවැත්විය හැකියි කියා. ඒත්, 16ට වැඩි වුණත්, 18ට අඩු නම්, ලිංගිකව පොළඹවා ගන්න බැහැ. 18ට අඩු තැනැත්තෙකුට ලිංගික ඇවිටිලි කිරීමක් කරන්නට බැහැ. අපට ලැබී තිබෙන දත්ත අනුව, ප්‍රේමය ඇති කරගැනීම කර තිබෙන්නේ වැඩිහිටියන්. ඒ සඳහා ඔවුන් ගැහැණු ළමයින්ව විවිධ ඇවිටිලි කිරීම් මගින් පොළඹවාගෙන තිබෙනවා. පීසා අරගෙන දීම වැනි දේවලින් පවා ළමයින් අපයෝජනය කර තිබෙන අවස්ථා වාර්තා වෙලා තිබෙනවා.
“හැම අවුරුද්දකම 3,000කට වැඩි ගැහැණු ළමයින් පිරිසක් ලිංගික අපයෝජනයට ලක්වෙනවා. 2023 අගෝස්තු මාසය අවසන් වන විට එවැනි අපයෝජනයන් 2,054ක් වාර්තා වෙලා තිබෙනවා. 2023 සැප්තැම්බර් මාසයේ 16ට අඩු ගැහැණු ළමයින් 194ක් බරපතල ලිංගික අපයෝජනයට ලක්වී තිබෙනවා. ඒ අතරින් ගැහැණු ළමයින් 168ක් ස්ත්‍රී දූෂණයට ලක් වී තිබෙනවා. 14දෙනෙකු දූෂණයට ලක්කර තිබෙන්නේ පියා විසින්. 19දෙනෙකු සහෝදරයා විසින් දූෂණය කර තිබෙනවා. මවගේ අනියම් සැමියා අතින් අපයෝජනයට ලක් වූ සංඛ්‍යාව 5.1%ක්. සීයා අතින් දූෂණය වූ ප්‍රතිශතය 1.5%ක්.

“බරපතලම තත්වය වන්නේ මේ අතරින් ගැහැණු ළමයින් 22ක් මේ මාසය ඇතුළත ගැබ්ගෙන තිබෙනවා. අපරාධකරුවන් අතරින් 39දෙනෙකු වයස අවුරුදු 18ට අඩුයි.

“මෙම අපයෝජනයන් වැඩි හරියක් සිදුවී තිබෙන්නේ නිවසක්, කඩයක් වැනි පරිශ්‍රයක් තුළ. මෙවැනි වැරදි සඳහා පරිශ්‍රය සැපයීමත් නීතිමය වරදක්. ඒ සම්බන්ධයෙන් වෙනම නීතිමය ක්‍රියාමාර්ග ගත හැකියි,” යි ද නියෝජ්‍ය පොලිස්පතිවරිය පෙන්වා දුන්නාය.
කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සිදුවන අපයෝජනයන් වළක්වා ගැනීමේදී වැඩිහිටියන් ඇතුළු සමාජයට විශාල වගකීමක් ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිනි රේනුකා ජයසුන්දර පෙන්වා දුන්නාය.
Social Sharing
නවතම පුවත්