අභියාචනාධිකරණය හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරයි…

හෙද නිලධාරීන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කරන්නට අධිකරණය තීරණය කර ඇත. රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති අධිකරණයෙන් තීරණය වන තත්වයක් නිර්මාණය වීම තරමක් අමුතු තත්වයකි.

අධිකරණයේ ස්වාධීනත්වයට විධායකය හෝ ව්‍යවස්ථාදායකය ඇඟිලි නොගැසිය යුතු අතර එය අනෙකුත් අංශවලට ද අදාළය.

රාජ්‍ය හෙද සේවයේ විධායක පළමු අධි ශ්‍රේණිය සහ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් වයස 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය වයස අවුරුදු 60 දී විශ්‍රාම ගන්වා ඇති ඉහත ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට අනුයුක්ත කරන ලෙස ද නියෝග කරමින් රිට් ආඥාව නිකුත් කර ඇත.

මෙම තීරණයට අදාළ අමාත්‍ය අමාත්‍ය මණ්ඩල තීරණ තහනම් කරමින් තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත. අභියාචනාධිකරණය මෙසේ තීන්දු කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට ගෙන තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.

විදේශගත වීම් වැනි හේතු මත හෙද සේවයේ පුරප්පාඩු 1000ක් පමණ පවතින බව කියමින් මෙම සේවා දිගුව ලබාදෙන්නේ වසර තුනක හෙද පුහුණුව ලැබූ ‍හෙද නිලධාරීන් 2,000කට වැඩි පිරිසක් රැකියා අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයක සිටියදීය.

එක් අතකින් එය තරුණ පුහුණු ශ්‍රමය හා දැනුම හෑල්ලුවට ලක් කිරීමක් සහ සේවාව පිළිබඳ කර ඇති අවතක්සේරුවක් විය හැකි බව හෙද නිලධාරිනියක පැවසුවාය. “ලංකාවේ හෙද සේවයේ අප වැඩිපුරම ඉන්නේ හිටගෙනය.මා වෛද්‍ය වාට්ටුවල සේවය කළ කාලයේ සේවා මුරයේ පැය හයම හිටගෙන වැඩකළ දින අනන්තයි. මා එක් ප්‍රධාන රෝහලක සේවය කරද්දී කොන්ත්‍රාත් පදනමට සේවයට බඳවා ගත් හෙද නිලධාරි⁣යකු නිසා වාට්ටුවම කරදරයට පත් වූවා මතකයි. අමතකවීම්, ශාරීරික දුබලතා, අතපසුවීම් සුලබ, නිදි වැරීම දුෂ්කර මෙම වයසේදී එළඹසිටි සිහියෙන් වැඩ කළ යුතු රැකියාවක නිරත වීම පහසු නොවේ. මෙහිදී අපහසුතාවයට පත්වන්නේ වැඩකළ හැකි පිරිසය. විශ්‍රාම වයසෙන් පසු ⁣බඳවා ගන්නා අයගේ ජේෂ්ඨත්වයට ගරු කළ යුතු නිසාත්, ඔවුන් ඔවුන්ගේ සේවා පළපුරුද්ද නිසා ඇතිකරගෙන තිබෙන අධිමානය නිසාත් විවිධ ගැටලු ඇතිවේ.”

Social Sharing
නවතම පුවත්