එදා නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් අත්අඩංගුවට නොගන්නැයි කහවත්ත ඕඅයිසීට බලපෑම් කළාට සබරගමුව හිටපු SDIG ලලිත් වසර 5ක් හිරේට!

විසිදහසක දඩයක් ගෙවීමටත් නියෝග

විපක්‍ෂයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීම සඳහා වේදිකාවක් සකස් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ සබරගමුව පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (24 දා) වසර පහක සිරදඬුවම් නියම කළාය.

පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙහිව නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරිය පෙරකී දඬුවම නියම කළාය. එයට අමතරව රුපියල් 20,000 ක දඩයක් ගෙවීමට ද විනිසුරුවරිය විත්තිකරුට නියම කළාය.

2015.01.05 වැනිදා කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ එම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් කිහිපදෙනකුට තුවාල සිදුවී තිබිණි. ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ කහවත්ත පොලිසිය එම සිද්ධියේ සැකකරුවකු ලෙස හඳුනාගත් ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) මහතාව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී, සැකකාර නියෝජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට නොගන්නැයි එවකට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ලලිත් රාජමන්ත්‍රි මහතාට බලපෑම් කිරීමෙන් එනම් රජයේ සේවකයකුට ඔහු වෙත පැවරී තිබූ රාජකාරියක් ඉටුකිරීමට ඉඩ නොදීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ ගැනෙන දඬුවම් ලැබිය හැකි වරද සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුණි.

විත්තිකරු චෝදනාවට වරදකරු බවට නිගමනය කිරීමෙන් අනතුරුව අධිකරණය ඇමතූ නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කුමන තරාතිරමක් දැරුවත් රජයේ නිලධාරීන්ට කුමන ආකාරයෙන් හෝ බලපෑම් කිරීම ඉතා බරපතළ වරදක් බවත් ඉහළ තනතුරක් දරන රජයේ නිලධාරියකු විසින් තමන් යටතේ සිටින පහළ නිලධාරියකුට එවැනි බලපෑමක් කිරීම ඉතා බරපතළ වරදක් බවත් අධිකරණයට පෙන්වා දුන්නේය. එබැවින් මින් ඉදිරියට හෝ එලෙස රජයේ නිලධාරීන්ට බලපෑම් කරන පිරිසට පාඩමක් ඉගෙන ගත හැකි පරිදි විත්තිකරුට දඬුවම් ලබා දෙන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

Social Sharing
නවතම පුවත්