දයාන්ගේ “මහමොළකරුවෝ” පිලිබද මාකස්ගේ විග්‍රහය..

Dayan Jayatilleka Channel 4 easter sunday attack

ඊයේ මට අපේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු අපේ බැචෙක් කථා කරලා කිව්වා අන්න දයාන් ජයතිලක හිරු එකේ interview එකක් දුන්නා බලපන් කියලා..මම ඇහැව්වා මොකක් ගැනද? කියලා..ඔහු කිව්වා Channel 4 එකේ ගිය පාස්කු ප්‍රහාරය ගැන වැඩසටහන සම්බන්ධයෙන් කියලා… “ඇයි එයා රාජපක්ෂලාට සුදු හුණු ගානවද?” කියලා මම ඇහැව්වා… “නෑ නෑ මේක වෙනස් උඹ බලපන් කෝ” …කියලා ඔහු කිව්වා..එහෙම කියලා එයා කිව්වා..”ආ මට මතකයි උඹ අපේ බැච් පාර්ටියේදී මිනිහා එක්ක ඇරගත්තා නේද?” කියලා අතීත කතාවකුත් මතක් කලා…ඒ මොකක් ගැනද කියලත් ඇහැව්වා..

ඒ ඔහු (දයාන් ජයතිලක) පත්තරයකට කියා තිබූ ‘මුලතිව් කැලේට නාපාන් (විෂ වායූ) ගසා හෝ LTTE  ය විනාශ කල යුතුයැයි දයාන් ජයතිලක දක්වා තිබූ අදහසක් ගැනය. සිද්ධිය සිදුවූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ mess එකේ පැවැති දේශපාලන විද්‍යා/ජාත්‍යන්තර සබදතා ඇතුළු විෂයන් වල විශේෂවේදී උපාධි හැදැරූ  සිසුන් සදහා පැවැති භෝජන සංග්‍රහයේදීය…දයාන් ජයතිලක මහතා එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළේය.

එහිදී “මුලතිව් කැලේට නාපාන්” ගැසිය යුතුයැයි ඔහු කියූ කතාව ඔහුගේ ස්ථාවරය දැයි මම දයාන් ජයතිලක මහතාගෙන් ඇසුවෙම්. ඔහු එය විස්තර කළා පමණක් නොව ඒ වෙනුවෙන් තදින්ම පෙනී සිටියේය..එම ස්ථාවරය පැස්සිට්වාදී ස්ථාවරයක් බව මම ඔහුට පෙරලා කිව්වෙමි…පැස්සිට්වාද ගැනත් එයට මුහුණ දියයුතු ආකාරය ගැනත් ඔහු දිගින් දිගටම සිය මතය සනාථ කිරීමේ යෙදුනි…එය ටිකක් තදින් ඇදී ගිය කතාවකි. මා ඔහු සමග ඇරගත්තා යැයි මගේ ම්තුරා කිව්වේ ඒ ගැනය…

පසුකලෙක මුලතිව් කැලේ සුන්නත් දූවිලිකල රාජපක්ෂ රෙජීමයේ එක් ජාත්‍යන්තර මුහුණුවරක් වූයේ දයාන් ජයතිලකය. මානව හිමිකම් චෝදනා නැගුණු ජිනිවා දංගෙඩියෙන් රාජපක්ෂලාව බේරාදීමේ භාරදූර වගකීම භාරගත්තේ ඔහුය… ජාත්‍යන්තරයෙන් රාජපක්ෂ රෙජීමය බේරාගැනීමට ‘මද්දුම බණ්ඩාර’ මෙන් පෙරට ගිය ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාව කල වැඩසටහනත් සමග පය පස්සට ගෙන ඇත.

දැන් ඔහු කියන්නේද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සංඝටක සහිතව අනිවාර්යයෙන්ම ජාත්‍යන්තරව පිලිගත හැකි පරික්ෂණයක් සිදුකල යුතු බවය…එසේ නොවුනහොත් බිලියන 2.6 වන ලෝක කිතුණු ප්‍රජාව තුලින් පැනනැගෙන විරෝධය ලංකාවට දැඩි ආනිසංස කැදවන දරුණු කළුවලාවක් බවට පත්වෙන බව ඔහු සහසුද්දෙන්ම කියාපායි.

එමෙන්ම පිලිගත හැකි පරීක්ෂණයක් පවත්වා නිසි නිගමයක් ලැබෙන තුරු සුරේෂ් සලේ සිය තනතුරුවලින් ඉවත්විය යුතු බව ඔහු කියයි…එක් පුද්ගලයෙක් හෝ කිහිප දෙනෙකුගේ ක්‍රියාපටිපාටියක් නිසා සමස්ථ රටක්, ජනතාවක් උවදුරේ නොවැටිය යුතු බව ඔහු දක්වයි.

තවද, රැසියාවේ පැවැති ආරක්ෂක සමුළුවකදී ඉංදියාවේ ආරක්ෂක ප්‍රධානියෙකු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කල් ඇතිව ලංකාවට දැනුම් දුන් බවත් ලංකාවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොකල බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල බවත් දක්වයි.

එම තොරතුර ලද ලංකාවේ පොලිසියේ සහ ආරක්ෂක අංශවල ප්‍රධානින් 05 දෙනෙකුම ප්‍රහාරය වලක්වාලීමට කටයුතු නොකලේ ඇයි යන්න විශාල ප්‍රශ්ණයක් බවත්…විශේෂයෙන්ම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ජමීල් හමුවීමට ගිය ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරියාව අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරද්දී ශ්‍රී ලංකා හමුදා                                                බුද්ධි අංශය පැමිණ ඔහුව රැගෙන යෑම කිසියම් වූ ගුප්ත ක්‍රියාවලියක ප්‍රතිඵයක් ලෙස පෙනී යන බවත් දක්වයි…

හිරු නාලිකාව සමග කල එම මාධ්‍ය සාකච්ඡාවේදී;

*  “මුස්ලිම් සහරාන් සිංහල බෞද්ධ නායකයෙක් බලයට ගෙන ඒමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරයිද?”

* “යහපාලනය දියාරු වෙලා තිබුනේ, පොහොට්ටුව කොහොමත් දිනන්න හිටියේ එහෙව් එකේ බෝම්බ පුරුවයිද?”

ආදී රාජපක්ෂ ගැට්ටන් මතුකරන ප්‍රශ්ණ සම්බන්ධයෙන්ද දයාන් ජයතිලක මහතා අදහස් දක්වයි.

1978 දී රතු බ්‍රිගේඩ් නම් කල්ලිය විසින් ඝාතනය කල හිටපු ඉතාලි අගමැතිවරයෙකුවු Aldo Moro ගේ සිද්ධිය උදාහරණයට ගත් ඔහු ඝාතකයන් ඉෂ්ට කලේ කාගේ උවමනාවක් දැයි ඝාතකයන් පවා දැන නොසිටින්නට ඇති බවට තර්ක කරයි.

තවද රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටියදීම මහින්ද රාජපක්ෂව අගමැති කරමින් බිහිකල දින 52කේ ආණ්ඩු සමයේදී  ජනාධිපති  සිරිසේන පොහොට්ටුවේ අපේක්ෂකයා වශයෙන්  මහින්ද රාජපක්ෂගේ සහයෝගයෙන් නැවැත ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමේ කටයුත්තේ යෙදී සිටි පිරිසට දැඩි සැකයක් සහ අවිනිශ්චිතතාවයක් පැවැති බව දක්වයි.

ඔහු දක්වන එම කරුණ ගැන අවධානය යොමුකලහොත්, එවැනි ද්වන්ධනාත්මක අවස්ථාවක් පැවැතියේ නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එක් අන්තයකට පැහැදිලිවම සිය අභිප්‍රායන් සාක්ෂාත් කරගැනීමට බොහෝසේ දායකවී ඇත. මන්ද යත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා ජනාධිපති සිරිසේනට නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීමට ඇති හැකියාව නැත්තටම නැතිකර දැම්මා සේම ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට වැඩි ඉඩක් විවර කලේය.

ඒ අනුව දයාන් ජයතිලක මහතා මතුකරන පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මිහින්ද – සිරිසේන දින 52කේ ආණ්ඩු කාලයේ පැවැති අභ්‍යන්තර ආතතිය පිලිබද තොරතුර චැනල් 4 වැඩසටහන මතුකරන පාස්කු බොම්බ ප්‍රහාරය යනු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට සිදුකලයි යැන්න සනාථ කරන ඌන පූර්ණකයෙකි.

ඒ සියළුම කරුණු අතරින් මුළු interview එක පුරාම දයාන් ජයතිලක මහතා මතුකරන ගෝඨාභයටත් වඩා දරුණු, ගෝඨාභයටත් වඩා භයානක බලවේග ඔහු පිටුපසින් සිටි බවත්, අදටත් ඔවුන් රටේ තීන්දු තිරණගතහැකි ඉහලම ස්ථානවල බලය හොබවමින් සිටින බවට වූ අනාවරණය අතිශයින්ම බියකරුය. ඇග කිලිපොලායන සුළුය. ඔහු මේ සදහන් කරන්නේ මා මීට පෙරත් නිතර දක්වා ලූ ශ්‍රී ලංකා රාජ්‍යය යාන්ත්‍රණය පිටුපස සිටින ජාතිවාදී / වර්ගවාදී /මිලිටරි බලවේග බවට සැකයක් නැත. රටේ රාජ්‍යය යාන්ත්‍රණය හසුරුවන්නේ ඔවුන් නම් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සමානත්මතාවය, සහෝදරත්වය, සංහිඳියාව සහ සහජීවනය ආදිය පිලිබදවවූ සකල විද බලාපොරොත්තු අත්හැරී යනු ඇත. එකී බලවේග ප්‍රබල විදේශීය බුද්ධි සේවයක් සමග ගණුදෙනු කරන වගක්ද දයාන් ජයතිලක මහතා දක්වයි. ඔහු ඉගිකරන ප්‍රබල ජාත්‍යන්තර විදේශීය බුද්ධි සේවය ඊශ්‍රායල් බුද්ධි අංශයද?

සමස්තයක් වශයෙන්  දයාන් ජයතිලක මහතා හිරු රූපවාහිනීයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව කරුණු  4ක් ඔස්සේ විමසා බැලිය හැක. එනම්

  1. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන Channel 4 නාලිකාව ඉදිරිපත් කල වැඩසටහන ගැන ඔහුගේ විග්‍රහය.

2.පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඒහා ගැටගැහුණු ඔහු එකතු කරන යම් යම් අලුත් තොරතුරු..

  1. මහමොළකරු/මොළකරුවෝ පිලිබද ඔහුගේ විග්‍රහය…
  2. ගෝඨා බලයට ගෙන ඒමට ඒ පිටිපස සිට ක්‍රියාත්මක වු ලංකා රාජ්‍ය යාන්ත්‍රණය පිටුපස සිටින ජාතිවාදී/වර්ගවාද/මිලිටරි බලවේග ගැන විමසුම …

මේ කරුණු කාරණා අදිය නිසාම යුක්තිය සහ සත්‍යය ගැන උනන්දුවන සියල්ලන් දයාන් ජයතිලක මහතා හිරු රූපවාහිනීය සමග කල එම සම්මුඛ සාකච්ඡා නැරඹීය යුතු බව මගේ යෝජනාවයි…

ලින්ක් එක පහලින්

https://fb.watch/mVCwq_FP5l/

මාකස් ප්‍රියන්ත පෙරේරා

07/09/23

Social Sharing
අවකාශය නවතම විශේෂාංග