හොර ස්ටිකර් ගැසූ මත්පැන් බෝතල් ලක්ෂයක් අත්අඩංගුවට – ඇමැති සියඹලාපිටිය කියයි…

සැකසහිත ස්ටිකර් ඇළවූ මත්පැන් බෝතල් ලක්ෂයක් පමණ පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගත් බවත් ඒ අතරේ හොර ස්ටිකර් සහිත මිලි ලීටර් 180 බෝතල් (කාලේ බෝතල්) 43776 ක් ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) පැවසීය.

මෙම නීති විරෝධී කටයුත්තට එරෙහිව රුපියල් කෝටි පහකට වැඩි දඩ මුදලක් නියම කර ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය. මේ වන විට රටපුරා මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 4570 ක් නිකුත් කර ඇතැයි ද මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

වර්ග 25ක් යටතේ මෙම මත්පැන් බලපත්‍ර ලබා දී ඇතැයි පැවසූ සියඹලාපිටිය මහතා මෘදු මත්පැන් විකිණීම සඳහා බලපත්‍ර 538 ක් මෑත භාගයේ නිකුත් කෙරුණු බව ද සඳහන් කළේය. රජය රට තුළ මත්පැන් ප්‍රවර්ධනය නොකරන බවත් මත්පැන් බෝතලයකින් සියයට 75ක බදු අය කරන්නේ ඒ නිසා බවත් සියඹලාපිටිය මහතා කීය.

මේ අතර මත්පැන් බලපත්‍ර සංචාරක කලාපවලට සීමා කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

පසුගිය කාලයේ විශාල වශයෙන් මෙරට මත්පැන් අලෙවි සල් ආරම්භ වූ බවත් වත්මන් රජය ද සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ මුවාවෙන් සිය මිතුරන්ට මත්පැන් අලෙවි බලපත්‍ර විකුණන බවට සැකයක් ඇති වී තිබෙන බවත් 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන බල ප්‍රදේශවලත් බියර් බලපත්‍ර ලබා දී ඇති බවත් කී ප්‍රේමදාස මහතා මේවා අනාගත මැතිවරණයක් උදෙසා රජයට මුදල් සෙවීමට ලබා දුන් බලපත්‍ර යැයි ද කීවේය. එබැවින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සංගණනයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් අලවා මත්පැන් අලෙවි කිරීමේ සිදුවීමක් රට තුළ දක්නට ලැබෙන බවත් සුරාසල් 100ක පමණ තිබී මෙවැනි මත්පැන් බෝතල් ලක්‍ෂයක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වන විට සුරාබදු දෙපාර්තමේන්තුවේ රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේ ඒවා ගබඩා කර ව්‍යාජ ස්ටිකර් වෙනුවට සැබෑ ස්ටිකර් අලවා ප්‍රශ්නය යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් හෙතෙම මෙහිදී කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

Social Sharing
නවතම පුවත්