“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත” හරීන් සහ මනූෂ අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්…

මීට වසර හතරකට පෙර සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් කරළියට පැමිණෙමින් තිබේ. මෙම ප්‍රහාරය පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් ඇතැයි ඇතැමුන් පවසති. ඒ සියලු හෙළිදරව් කිරීම් පාස්කු ප්‍රහාරයෙන් පසුව අප කළ ප්‍රකාශවලට සමානය.

එහෙයින් පෙර කවරදාකටත් වඩා වඩාත් සවිස්තරාත්මක හා අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාවය මතුව තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් සහ එහි මහ මොළකරුවන් නීතිය හමුවට ගෙන ආ යුතු බවට මීට පෙර පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් අපි හඬක් නැගුවා.

ඒ හඬ නැඟීම හමුවේ එදා විවිධ පාර්ශ්වවලින් අපට විවිධ තර්ජන, මඩ ගැසීම්වලට මුහුණ දෙන්න සිදු වුණා.

එපමණක් නොව අපි එදා නියෝජනය කළ විපක්ෂයේ ඇතැම් නායකයන් පවා කට පියාගෙන සිටීම අපට බලවත් කනගාටුවක් ඇති කළා.

නමුත් නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, කාවින්ද ජයවර්ධන, මුජිබර් රහුමාන්, එරාන් වික්‍රමරත්න වැනි මන්ත්‍රීවරුන්ද මෙම ප්‍රහාරවල ඇත්ත නැත්ත හෙළි කිරීමට අප සමඟ එක්ව අරගල කළ බව අපට මතකය.

ඒ වගේම අපි ඉතාම විශ්වාස කළ සමහර ආගමික නායකයන් පවා අපට විරුද්ධව පදනම් විරහිත චෝදනා එල්ල කළා.

නමුත් අපි ඒ කිසි දෙයක් හමුවේ නොසැලී අපේ අරගලය දිගටම කරගෙන ගියා. එයින් ආරම්භ වූ ආණ්ඩු විරෝධී අරගලය නිසා අවසානයේ ආණ්ඩු පෙරළියක් පවා සිදු වුණා.

ශාන්ත පාවුළු තුමා පවසා ඇත්තේ “යමෙක් දෙවියන් වහන්සේගේ මාලිගාව විනාශ කළහොත් දෙවියන් වහන්සේ ඔහුව විනාශ කරන බවයි. මක්නිසාද දෙවියන්වහන්සේගේ මාලිගාව ශුද්ධය, ඒ දේවමාළිගාව ඔබයි.”

අර්බුද ඇතිකර බලය ලබාගත් කිසිවකුට එම බලය පවත්වාගෙන යා නොහැකි බව සොබා දහම පවා ඔප්පු කර හමාරය.

බංකොලොත් භාවයෙන් සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටෙද්දී ඒ අභියෝගය භාර ගැනීමට ඇතැම් නායකයන් බිය වෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩගැනීමේ අභියෝගය භාර ගත්තා.

වසරක් වැනි කෙටි කාලයක් තුළ එම අභියෝගවලට මුහුණ දී ඒවා ජය ගැනීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා.

එදා අපි රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වුණේ සුවිශේෂී කොන්දේසි සහ ඉල්ලීම් හතක් මුල් කරගෙනයි. ඉන් කොන්දේසි හයක් මේ වන විට සම්පූර්ණ කර ඇති අතර ඉතිරිව ඇත්තේ පාස්කු ප්‍රහාරයේ චූදිතයන් සියලු දෙනා නීතිය හමුවට පමුණුවා ඔවුන්ට උපරිම දඬුවම් ලබාදීමයි. ඒ සඳහා අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලුවා, අපි නැවත ඒ ඉල්ලීම කරනවා.

රටේ තිබෙන අභියෝග ජයගන්න අපි ආණ්ඩුව සමඟ එකතු වුණත් ආණ්ඩුව තුළම සිටිමින් අපි ජනාධිපතිතුමාට එම ඉල්ලීම දිගටම ඉදිරිපත් කළා.

දැන් මේ ප්‍රශ්නය යළිත් වරක් කතාබහට ලක්ව ඇති නිසා නැවත වරක් මේ සම්බන්ධයෙන් දැඩි ඉල්ලීම් කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වී තිබෙනවා.

නමුත් අපි ආණ්ඩුවේ ඉන්න ගමන් අපේ ඉල්ලීම් ඉදිරිපත් කරනකොටත් විපක්ෂය ඒ ගැන හඬක් නඟන්නේ නැති එක කනගාටුවක්.

ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා දඬුවම් දිය යුතුයි. බොරුවට මුවා වී සත්‍යය වසන් කළ නොහැක. කිසිවකුට ස්වභාවධර්මයේ නීති කඩ කළ නොහැක. අවසානයේ සත්‍යය ජයගනු ඇත.

හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය සහ මනූෂ නානායක්කාර – විදේශ රැකියා සහ කම්කරු අමාත්‍ය.

Social Sharing
නවතම පුවත්