පාචනයට අතවනන කාලයක්!

රට තුළ පවතින ජල හිඟය සමග අපිරිසුදු ජලය පානය කිරීමෙන් ඉදිරියේදී ජනතාව පාචන රෝගයට ගොදුරු වීමේ අවදානමක් දැඩිව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය.

ඒ අනුව, ජල මූලාශ්‍ර හිඳීමෙන් ජලය විෂබීජ මිශ්‍ර වූ පසු පාචන රෝගයට ජනතාව ගොදුරුවන බවත් එය යම් මොහොතක බරපතළ ලෙස බලපෑමක් වනු ඇති බව ත් හෙතෙම සඳහන් කළේ ය.

පවතින උෂ්ණාධික මොහොතේ වැඩිපුර ජලය පානය නොකළහොත් අනිවාර්යෙන් ම වකුගඩු හා මුත්‍ර සංසරණ පද්ධතියේ රෝග වැළඳීමෙන් වැළකිය නොහැකි බව ඒ අනුව වෛද්‍යවරයා සඳහන් කළේ ය.

විශේෂයෙන්ම මේ ගෙවෙන්නේ ජල මූලාශ්‍ර හිඳෙන කාලයක් බැවින් භාවිතයට ගන්නා ජලය උණු කර පානය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු කීය.

එමෙන් ම, පාසල්වල දරුවන් ආපනශාලාවලින් ගන්නා ආහාරපාන ගැන දැඩි සැලකිල්ලක් දැක්විය යුතු අතර, ඊට හේතුව ලෙස අපිරිසුදු ජලය යොදා සකසන ආහාර සෞඛ්‍යයට ඉතා අහිතකර බව වෛද්‍යවරයා සඳහන් කළේ ය.

කම්කරුවන් ගොවීන් ඇතුළු වැඩ කරන ජනතාවට අව්වේ නොසිටින්නැයි කීමෙන් ඇති ඵලක් නොමැති බැවින් වෙන දාට වඩා වුවමනාවෙන් ජනතාව ජලය පානය කළ යුතුව තිබෙන බව හෙතෙම වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Social Sharing
නවතම පුවත්