වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්!

2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි.

ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගිය වසරේ පමණක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවය.

ඒ අනුව මත්තල රාජපක්ෂ ජාත්‍ය්‍යන්තර ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු 2017 වසරේ සිට 2022 වසර දක්වා වසර 05ක් තුළ ලබා ඇති සමස්ත පාඩුව රුපියල් කෝටි 4,281ක් බව ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයකදී එලෙස අනාවරණය වී තිබුණි.

මෙම ගුවන්තොටුපොළ 2022 වසරේ මෙහෙයුම් පිරිවැය කෝටි 203ක් ලෙස වාර්තා කර ඇති අතර එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයකින් වැඩි බව එම විගණනයෙන් පෙන්වා දෙයි.

2022 වසර සඳහා බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන් තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බව වාර්තා වෙයි.

එමෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ අපේක්ෂිත වාර්ෂික මගීන් සංඛ්‍යාව ලක්ෂ 10ක් වුවද පසුගිය වසරේ ගුවන්තොටුපොළ හරහා ගමන් කර ඇත්තේ ගුවන් මගීන් 11,577ක් පමණක් වන අතර පසුගිය 2017 සිට 2022 දක්වා වසර 5 තුළ ගුවන්තොටුපොළ භාවිත කර ඇත්තේද ගුවන් මගීන් 103,324ක් පමණි.

මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 3,656ක් වැය කර ඒ සඳහා ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 1,900කි.

කෙසේවෙතත් ලබාගත් විදේශ ණය සඳහා ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති බව වාර්තා වෙයි.

එම විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙස ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රජය ගත් තීරණයක් මිස ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම ගනු ලැබු තීරණයක් නොවන බවය.

මේ අතර මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2018 මාර්තු 25 වනදා නැවත සිවිල් ගුවන් මෙහෙයුම් සඳහා විවෘත කර ඇති අතර පසුගිය වසර 5ක කාලය තුළ එම ගුවන්තොටුපොළ රුපියල් කෝටි 8.6ක මෙහෙයුම් වියදම් දරා ඇති නමුත් කිසිදු ආදායමක් උපායා නොමැතිවීමද විශේෂත්වයකි.

Social Sharing
නවතම පුවත්