මටත් සමහරු මාධ්යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්යේෂ්ඨ මාධ්යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්යවේදියා?
ලංකාවට මේ සංකල්ප එන්නෙ බටහිරින් සහ ඉංග්රීසියෙන්. මාධ්ය කියන්නෙ ඉංග්රීසියෙන් Media. Medialogy කියල ඉංග්රීසියෙ වචනයක් නැහැ. ඒ කියන්නෙ ඒ සම්බන්ධ වේදයක්, විද්යාවක් නැහැ. තියෙන්නෙ එක්කො මාධ්ය අධ්යයනය (Media Studies) හෝ Journalism.
Journalism කියන්නෙ පුවත්පත් කලාවට. එහි යෙදෙන පුද්ගලයා හෙවත් පුවත්පත් කලාකරුවාට කියන්නෙ journalist. ඇත්තටම මෙය කලාවකටත් වඩා ශිල්පයක් නිසා පුවත්පත් ශිල්පියා කීවා නම් වඩා නිවැරදියි. ඒ වුණාට දැන් ව්යවහාරය පුවත්පත් කලාවේදියා යනුවෙනුයි. පත්තරකාරයා කියන එක මදි වගේ පෙනුණට මට නම් හිතෙන්නෙ journalist කියන වචනයට ළඟම පරිවර්තනය ඒකයි.
ජනමාධ්ය පටන් ගත්තේ පුවත්පතෙන්. පසුව රේඩියෝව, රූපවාහිනිය හා අන්තර්ජාලය ආවා. ඒත්, ඒ මාධ්යවල යෙදෙන අයටත් පොදුවේ භාවිතා කරන්නේ Journalist කියන වචනෙම තමයි. කරන කාර්යය අනුව වෙනස් වචන තියෙනවා.
විනෝද සමයක විහිළුවක් තියෙනවා. එක්කෙනෙකු කියනවා තමන් පත්තරකාරයෙකුය කියලා. අනෙකා අහනවා දැන් පත්තර ගන්නෙ කීයටද කියලා. පරණ පත්තර එකතු කරන අයටත් කියන්නෙ පත්තරකාරයන් කියලනේ. බෝතල් පත්තරකාරයන්.
ජනමාධ්ය සම්බන්ධ වචනවල නිරුක්තිය හෙවත් උපත සහ ඒ වචනවල වර්තමාන අර්ථය අතර විශාල පරතරයක් තියෙනවා. උදාහරණයක් විදියට Press කියන වචනෙ මුල් තේරුම ඔබනවා/ තෙරපනවා කියන එක. මුලින් මුද්රණය කෙරුණෙත් එහෙමනේ. ඒ නිසා, එය මුද්රණය වෙනුවෙන් යෙදුණා. මුල් කාලෙ ජනමාධ්යත් මුද්රණයෙන්නෙ පළ කෙරුණෙ. ඒ නිසා ජනමාධ්යවලටත් ප්රෙස් කියනවා. අච්චු කන්තෝරු හෙවත් මුද්රණාල නැති මාධ්ය වෙනුවෙනුත් ප්රෙස් කියන වචනෙ භාවිතා කරනවා.
1990 දශකයේ මුල් කාලෙ මං කෙටි කලක් ලංකාදීපෙ පදවියේ රිපෝටර් විදියට වැඩ කළා. යුද්දෙ කාලෙ අනුරාධපුරේ ඉඳන් පදවියට යනකල් චෙක්පොයින්ට් පහක බැහැලා හැඳුනුම්පත පෙන්නලා යන්න ඕනැ. මං දවසක් බෝගස්හන්දියෙදි ලොකුකමට ලංකාදීපෙ ප්රෙස් කියලා ගහලා තියෙන අයිඩෙන්ටිටි කාඩ් එක සෙබළෙකුට පෙන්නුවා. ඔහු ඇහුවා මං අච්චු කන්තෝරුවකද වැඩ කරන්නෙ කියලා.
පුවත්පත් කලා ශිල්පයට වෛද්ය, නීතීඥ වගේ වෘත්තික පිළිගැනීමක් නැහැ. එහෙම අවශ්යත් නැහැ. හේතුව, ඒක සාමාන්ය කුසලතා කට්ටලයක් සංවර්ධනය කරගැනීමෙන් කරන්නට පුළුවන් දෙයක් වීම. උදාහරණයක් විදියට මෝටර් කාර්මික ශිල්පියෙකුයි, යාන්ත්රික ඉංජිනේරුවකුයි අතර වෙනස වගේ. නිශ්චිත කුසලතා ප්රමාණයක් සංවර්ධනය කරගැනීමෙන් මෝටර් කාර්මික ශිල්පියකු වන්නට පුළුවන්. යාන්ත්රික ඉංජිනේරුවකු වන්නට එහෙම බැහැ.
මුල් කාලෙ පුවත්පත් කලාව සුවිශේෂ වුණේ ජනමාධ්ය හරහා ප්රකාශනයේ යෙදීමේ අවස්ථාව ලැබුණෙ සීමිත පිරිසකට පමණක් වීම නිසායි. උදාහරණයක් විදියට, ඔය රේඩියෝ යුගයේ වීරයන් වුණ වැඩිදෙනෙකු සුවිශේෂ වෙන්නෙ එවැනි තවත් පුද්ගලයන් විශාල ගණනකට නොලැබෙන අවස්ථාව ඔවුන්ට ලැබීම නිසා විතරයි. වැඩිදෙනෙකු ඒ අවස්ථා ලබාගත්තෙ ප්රජාතන්ත්රවාදීව, විනිවිද පෙනෙන අයුරින් නෙමෙයි. ඥාති, මිත්ර, ලිංගික, මූල්ය, දේශපාලන ආදී සම්බන්ධකම් හරහා අවස්ථා මංකොල්ලකෑමෙන්.
ඉස්සර පත්තරවල ඡායාරූප ශිල්පියෙකුට විශාල වැදගත්කමක් ලැබුණා. කැමරාව කියන්නෙ ඒ කාලෙ සංකීර්ණ මෙවලමක්. ඡායාරූපයක් ගැනීමට අමතරව ඒක මුද්රණයට ලබාදීම සඳහා සැකසීමත් ශිල්පයක්. දැන් නම්, ජංගම දුරකථනයක් අතින් ගත් ඕනෑම මිනිහෙකු, ඕනෑම මොහොතක මාධ්යවේදියකු ලෙස හැසිරෙන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඊයේ මං ගාලු පාරේ එද්දි තල්පිටියේ පාර හරහා ගහලා තිබුණ දැවැන්ත තොරණක් දැකලා ඒකෙ ඡායාරූපයක් අරගෙන සමාජ මාධ්යවල පළ කළා. මං ඒක වාර්තා කළා විතරයි. ඕනැ නම්, කෙනෙකුට ඒ නිර්මාණාත්මක තොරණ ගහන්නෙ කවුද, ඒක හදන්නෙ අවසර අරගෙනද, ඒක පාරෙ යන වාහනවලට කොයි තරම් ආරක්ෂිතද, ඒ වැඩේ නීත්යානුකූලද වගේ විවිධ කාරණා ගැන වඩා විධිමත් වාර්තාවක් සකසන්නට පුළුවන්. අන්න එතනදී හුදු වාර්තාකරණය ඉක්මවා ගිය පුවත්පත් කලාවක් මතු වෙනවා. මාධ්ය වෘත්තිකභාවය සංවර්ධනය වෙන්නෙ එහෙමයි. ඒ වුණාට මාධ්යවේදීන් කියන අයගෙ තත්වය නම්, ගාලු පාරේ යන එනකොට ඔය තොරණ දැක්කට ඒකෙ ඡායාරූපයක්වත් ගන්නෙ නැති එක. හේතුව, ඒකෙ ප්රවෘත්තිමය වටිනාකමක් ඇති බවවත් ලංකාවේ ජනමාධ්යවේදීන්ය කියා තමන් හඳුන්වා ගන්නා වැඩිදෙනෙකු දන්නෙ නැහැ. ඔවුන් කරන්නෙ හැමෝම කරන දේ කරන එක.
ඇත්තම කතාව නම්, ජනමාධ්යවේදියා කියලා කෙනෙකු නැහැ. ජනමාධ්යකරු කියන එක තමයි නිවැරදි යෙදුම. මාත් ඇතුළු බොහෝ ජනමාධ්යකරුවන්ට අනන්යතා අර්බුදයක් තියෙනවා. ඒ නිසා, මට වුණත් ජනමාධ්යවේදියා කියනකොට මං ඔහේ ඉන්නවා. මොකද, සමහර සභාවලදි මොකක්වත් අනන්යතාවක් නැති නමක් කියන්න බැහැ වගේ එකක් තියෙන නිසා. නම කිව්වාම රටම දන්නෙ නැති අප වගේ අයට ඒක ප්රශ්නයක්.
මාධ්යවේදියා වගේම තවත් කෙනෙකු තමයි සමාජ ක්රියාකාරිකයා. සමාජ මාධ්ය ක්රියාකාරිකයා කියල කෙනෙකුත් ඉන්නවා. මේවා නම ඉදිරියෙන් යොදන්නෙ වෙන යොදන්න දෙයක් නැති නිසා. අනන්යතා අර්බුද. ඒ විතරක් නෙමෙයි, වෛද්ය, නීතීඥ, ඉංජිනේරු වගේ වෘත්තීන්ට සම්බන්ධ විශේෂණ පද යෙදීමත් එවැනිම අනන්යතා අර්බුදයක ප්රකාශනයක්.
හැබැයි, රටම දන්නෙ නැති යම් පුද්ගලයකුගේ නම කී විට ඒ පුද්ගලයා කවුරුද, කරන්නේ මොකක්ද කියා ප්රශ්නයක් මතු වන නිසා පුද්ගලයා පිළිබඳ කෙටි හැඳින්වීමක් අවශ්යයි. ඒ සඳහා ඒ පුද්ගලයා ගැන සොයා බලා හැඳින්වීමක් සකසාගත යුතුයි. වෘත්තිකභාවය ගැන සැලකිලිමත් අය මේ ප්රොෆයිල් එක විධිමත් අන්දමින් සකසා ගන්නවා. ඒක එම පුද්ගලයා පිළිබඳ හඳුන්වා දෙන අයෙකුට ලබාදෙන්නට පුළුවන්. එවිට, හඳුන්වා දීමකදී එය පහසු වෙනවා.
‘මාධ්යවේදීන්’ ගැන මේ ටිකත් කිව යුතුයි. බොහෝ මාධ්යකරුවන් ගම්වලින් කොළඹ ආපු, හරි හමන් වෘත්තීය කුසලතාවක් ගොඩනගා නොගත්, ප්රකාශනය හරහා අනන්යතා ගොඩනගාගත් අය. ඇතැම් අය මේ හරහා විශාල සමාජ ප්රාග්ධනයක් ගොඩනගාගෙන තිබෙනවා. සමහරුන් පාර්ලිමේන්තුවටත් ගිහින්. තව පොඩ්ඩෙන් එහෙම කෙනෙකු මේ රටේ ජනාධිපතිත් වෙන්නට ඉඩ තිබුණා.
කෙසේ වෙතත්, ජනමාධ්යවල සිදුවෙමින් පවතින ශීඝ්ර පරිවර්තනය නිසා මේ ඊනියා ජනමාධ්යවේදීන්ට විශාල අර්බුදයකට මුහුණ දෙන්නට සිදු වෙලා. හේතුව, දැන් තමන් මෙච්චර කල් සුදුසුකම් ලෙස පෙන්නපු පුවත්පත් කලා ඩිප්ලෝමා වගේ දේවල් කිසිවක් නැති පිරිසක් ඔවුන් පසු කර මාකට් එක අල්ලගෙන. ඔවුන්ට ඔය පුවත්පත් කලාව ඉගෙන ගත්තාය කියන අයට තියෙන 5Ws+H වගේ දේවල්වත් බාධාවක් වෙලා නැහැ. ඇත්තම කියනවා නම්, ඒකෙ මහ ලොකු දෙයක් ඇත්තෙත් නැහැ. අපි පුවත්පත් කලාවට ඇතුළු වෙන කාලෙ හිටපු පොරවල් සිරාවට පෙන්නපු සමහර ශිල්පීය දේවල් වුණේ කඩදාසියේ තනි පැත්තේ උඩින් ඉඩක් ඉතුරු කරලා, වම් පැත්තෙනුත් තීරුවක් ඉතුරු කරලා, ඩබල් ස්පේස් තියලා ලොකු අකුරෙන් ලියන එක වගේ සිල්ලර දේවල්. දැන් නම්, තමන්ගේ ලිපිය ටයිප් කරලා යවන්න බැරි කෙනෙකුට ජනමාධ්යකරුවෙකු වෙන්නට බැහැ. ඒ වගේම, ඒ කාලෙත් මහ ලොකු මාධ්යවේදීන් කියා ගන්නා අය පවා ඒ කියපු 5Ws+H වගේ සරල දේවත් අනුගමනය කළෙත් නැහැ.
මාධ්යවේදීන් කියා හැඳින්වෙන බොහෝ අය කරන්නෙ මතවාද ප්රචාරණය. ඒකට ඉංග්රීසියෙන් කියන්නෙ Propaganda කියලා. ඒ නිසා ඒ වැඩි දෙනෙකුට Propagandist කියලා කියන්න පුළුවන්.
මෑත යුගයෙ භාවිතාවට පැමිණි තවත් යෙදුම් තියෙනවා. Influencer කියන්නෙ එහෙම එකක්. සිංහලෙන් බලපෑම්කරු කියන්නට පුළුවන්. ඒ අය කරන වැඩේ බොහෝ විට Advocacy. එයට උද්දේශනය කියලා කියනවා. උද්දේශක කියලා සිංහලෙන් කියන්නට පුළුවන්. හැබැයි, ඉංග්රීසියෙන් ඒකට වචනයක් නැහැ. Advocate කියන්නෙ වෙන තේරුමක් සහිත වචනයක්.
මාධ්යවේදියා කියන්නෙ අනන්යතා අර්බුදයක ප්රකාශනයක්. නමට ඉදිරියෙන් යොදන වෙනත් එවැනි විශේෂණ පදවල තියෙන්නෙත් අනන්යතා අර්බුදම තමයි. මාධ්යවේදියාගෙ තියෙන්නෙ ටිකක් ලොකු අර්බුදයක්.
අජිත් පැරකුම් ජයසිංහ