පොදු රාජ්‍ය මණ්ඩලයේ ලොකුම වීරයා ශ්‍රී ලංකාවේ දරුවෙක්…

පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වසරක දී වාර්තා වන විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි සම්මානය වන “මවුන්ට් බැටන් පදක්කම” දිනා ගැනීමට මේ වන විට නවසීලන්තයේ පදිංචි ව සිටින ශ්‍රී ලාංකික දරුවකු වන කල්ය සාරද කන්දෙගොඩ සමත් වූයේය.

ඔහු තවමත් පසුවන්නේ 14 වැනි වියේ ය. ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයේ “මවුන්ට් බැට්න් පදක්කම” දිනාගත් ලාබාලතම තැනැත්තාගේ වාර්තාවට ද ඔහු හිමිකම් කියයි. පසුගිය වසරේ අගෝස්තු මස 27 වනදා නවසීලන්තයේ සිටින ලාංකික දරුවන් දෙදෙනෙකු වූ කල්යා සහ කිත්මි නවසීලන්තයේ දකුණු දිවයිනේ ගිනිකොන දිග ප්‍රදේශයේ ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයට ගොස් තිබුණේ පාරු පැදීම සඳහාය.

එහිදී දෙසොහොයුරන් අතරින් වයස අවුරුදු 11ක් වූ බාල කිත්මි නොසිතූ මොහොතක එක්වරම මුහුදට ඇදවැටී තිබේ. පිහිනීමට දක්ෂයෙකු වූ කිත්මිට මුහුදේ රළු ස්වභාවයත් සමග සටන් කිරීමට නොහැකි වුවත් වැඩිමහල් සොහොයුරු කල්යා වෙරළට පිහිනාවිත් තිබුණි. සිය සහෝදරයා වෙරළට පැමිණ නොසිටි බව දැනගත් ඔහු යළි වේගයෙන් මුහුදට පිහිනා යන්නේ තමාට යළි ඒමට බැරිවුවත් සිය මල්ලි බේරාගන්නා බවට මවට පවසමිනි.

මුහුදේ ගසාගෙන යමින් සිටි සිය සහෝදරයා වෙත ලංවීමට කල්යාට මීටර 60ක පමණ දුරක් වේගයෙන් පිහිනා යාමට සිදුවී තිබුණි. කල්යා දැක්වූ මෙම වීරත්වය පසුගියදා රටවල් 56කින් සමන්විත, බිලියන 2.4ක ජනගහණයක් සහිත පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල 2022 වසරේ සිදුවූ කැපී පෙනෙනම වීර ක්‍රියාවට හිමි සම්මානයට පාත්‍ර වුණි.

ඒ අනුව සිය සහෝදරයා බේරාගත් කල්යාට රාජකීය ජීවිතාරක්ෂක සංගමය මවුන්ට් බැට්න් පදක්කම පිරිනමනු ලැබීය. කල්යා සැලකෙන්නේ මෙම පදක්කම දිනාගත් ලාබාලතම පුද්ගලයා ලෙසය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග