මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමට දින 30 ව්‍යවස්ථාපිත කාල රාමුව.

galle face protest may 09 attack

2022 මැයි 9 දින ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා අගමැති නිල නිවස අසල සිදු වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු  නොකිරීම සම්බන්ධව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා සහ ප්‍රසංග ප්‍රනාන්දු මහතා විසින් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු වගකිවයුතු පොලිස් ප්‍රධානීන්ට, මහජන ආරක්ෂක අමාත්‍යවරයාට හා නීතිපතිවරයාට එරෙහිව ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය 2022 ජුලි 19 දින තීරණය කර තිබේ.

SC/FRA/15/23 අංක දරණ මෙම නඩුකරය ව්‍යවස්ථාපිත කාල රාමුව පසු වී ගොනු කරන ලද්දක් බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත තීරණයට එළඹුණි. නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළි ගනිමින් මෙම පෙත්සම ඉවත දමන ලදී. ව්‍යවස්ථාපිත කාල රාමුව ඉක්මවා ගිය පසු මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති නිසා එය පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ට ඒ මහතා කරුණු ඉදිරිපත් කළේය.

මහජන ආරක්ෂක ඇමතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දස දෙනකු සහ නීතිපතිවරයා පෙත්සම මගින් වගඋත්තර කරුවන් ලෙස නම් කර සිටියහ.

එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුණි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙසේ පවසයි: “ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය අප නිහතමානීව පිළිගනිමින් මහජනයාගේ පුළුල් අවධානයක් යොමු විය යුතු මෙම නඩුකරය පැවරීම සම්බන්ධ ක්‍රියාවලිය හා එයට පදනම් වූ මැයි 9 දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද අපගේ මතය ඉදිරිපත් කරමු.

  1. මැයි 9 වනදා ඇති වුනු ප්‍රචණ්ඩ ක්‍රියා රටේ නීතියේ පාලනය සම්පූර්ණයෙන් අකර්මන්‍ය කරවූ ක්‍රියාවන් බව අපගේ විශ්වාසයයි.
  2. අරගලයට එල්ල වූ ප්‍රහාරයෙන් ඇරඹී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අමානුෂික ලෙස ඝාතනය කළ, නිවාස හා වාහන ඇතුළු දේපළ රැසක් විනාශ කළ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා යළි කිසිදු දිනක ඇති නොවිය යුතු බව අපගේ ස්ථාවරයයි.
  3. මේ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා දවසක් පුරා රට තුළ පැතිරෙද්දී නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඇති පොලීසියේ අක්‍රියභාවය විශේෂයෙන් සලකුණු වූවකි.
  4. මේ දක්වා පොලීසියේ එම අක්‍රියත්වයට හේතු ඉදිරිපත් කිරීමක් සිදු කර නැත.
  5. මෙම තත්වය මත පොදු මහජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් ලෙස නැවතත් මෙවන් බිහිසුණු තත්වයක් මහජනයා කෙරෙහි ඇති වීම වැළැක්වීම සඳහා ගත හැකි පියවරයන් ගැනීම අපගේ උර මත පැටවී ඇති වගකීමක් බව අපගේ විශ්වාසයයි.
  6. ඒ අනුව අප විසින් මැයි 9 සිදු වූ මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අධ්‍යයනයන් කිහිපයක් ද, කෙටි වාර්තා චිත්‍රපටයක් ද, තවත් දැනුම්වත් කිරීමේ ක්‍රියාමාර්ග ද ගනිමින් එවන් තත්වයක් නැවත ඇති වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇත.
  7. ඉහත කී ක්‍රියාමාර්ගයන්ට අමතරව මෙවන් සිදුවීමක් යළි ඇතිවීම වැළැක්වීමේ අරමුණින්, පොලීසිය මෙතෙක් හෙළිදරව් කර නොමැති මැයි 9 දින ඔවුන්ගේ අක්‍රියත්වය සම්බන්ධයෙන් කරුණු එළිදරව් කර ගැනීමටත්, නැවත එවන් තත්වයක් ඇතිවීම වැළැක්වීමටත් ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන් යොමු කිරීමටත් සඳහා වූ අරමුණින් මෙම මූලික අයිතිවාසිකම්නඩුව අප විසින් පවරනු ලැබීය.
  8. මූලික අයිතිවාසිකම් නඩුවක් අදාළ අයිතිවාසිකම කඩ වීමෙන් මාසයක් ඇතුළත පැවරිය යුතු වීම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවකි.
  9. ඉහත කී නඩුව නිෂ්ප්‍රභ වන්නේ මෙම අවශ්‍යතාවය සම්පූර්ණ නොවීම හේතු කොටගෙනය.
  10. මැයි 9 වනදා සිට ජූලි 9 අරගලයේ උච්චතම අවස්ථාවන්ට පැමිණීම සහ තවත් මාස කිහිපයක් ගත වන තෙක් ශ්‍රී ලංකා රාජ්‍යය පැවතුනේ සාමාන්‍ය තත්වයක නොවන බවත් මෙහිදී අපි සිහිපත් කරමු.
  11. එවන් සංකීර්ණ තත්වයක් තුළදී මැයි 9 සිදු වීම සම්බන්ධයෙන් අධ්‍යයනයන් සිදු කිරීමටද එකී අධ්‍යයන වාර්තා එළි දැක්වීමටද, එවන් සිදු වීමක් නැවත ඇති වීම වැළැක්වීම සඳහා ද ඉහත කී නඩුකරය පැවරීම ඇතුළු ගත හැකි තවත් ක්‍රියාමාර්ග ගැනීමට හැකි වීම පිළිබද අප සංවිධානය සතුටු වන අතර, ඒ සම්බන්ධයෙන් ශක්තිමත් ලෙස මැදිහත් වූ අපගේ කාර්ය මණ්ඩලයට හා ඒ සඳහා සහය දැක්වූ බාහිර පාර්ශවයන්ගේ දායකත්වයන්ටද අපගේ ස්තූතිය පිරිනමමු.
  12. ව්‍යවස්ථාපිත කාලරාමුවේ අවශ්‍යතාවය තුළ මෙම නඩුව පැවරීමට නොහැකි වීම ගැන අප කණගාටු වන අතර, එසේ වුවද මැයි 9 සිදුවීම් වැනි සිදුවීම් නැවත ඇති වීම වැළැක්වීම සම්බන්ධයෙන් නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්ට අත්හළ නොහැකි වගකීමක් ඇති බව ද අපි අවධාරණය කරමු.

ශ්‍රී ලංකාවේ පවත්නා ප්‍රායෝගික යථාර්ථය අනුව, මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකට ලක් වූ පුද්ගලයකුට දින 30ක කාලය තුළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකිරීම අතිශය දුෂ්කරය. ව්‍යවස්ථාපිත කාලරාමුවෙන් පසු ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා සලකා බැලූ අවස්ථා ද තිබේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ 126වන ව්‍යවස්ථාවේ (5) වගන්තියේ මෙසේ දැක්වේ. “මේ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කරන ලද යම් පෙත්සමක් හෝ කරන ලද යම් යොමු කිරීමක් පිළිබඳව ඒ පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ නැතහොත් යොමු කිරීම කරනු ලැබූ දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොට කටයුතු නිම කළ යුත්තේ ය.” ප්‍රායෝගික තත්වයන් තුළ බොහෝ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවෙහි දැක්වෙන කාලයට වඩා වැඩි කාලයක් ගතවේ. ඇතැම් පෙත්සම් විභාගය සඳහා අවුරදු ගණන් ගත වේ.

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකිරීමේ කාලරාමුව පිළිබඳ ප්‍රශ්නය යුක්තිය ඉටුකිරීමේදී බාධාවක් නොවිය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ අදහසයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය

2022 ජුලි 20

Social Sharing
අවකාශය නවතම