නඩු ලක්ෂ 11ක් විසඳන්න විනිසුරන් ඉන්නේ 399යි

courtලංකාවේ උසාවි තුළ දැනට ක්‍රියාත්මක නඩු එකලොස් ලක්ෂ විසිහත් දහසක් (1127000) විභාග කිරීම සඳහා අධිකරණය තුළ සිටින්නේ විනිසුරන් 399ක් බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අධිකරණ කටයුතු ප්‍රමාදය සහ ඊට සම්බන්ධ කරුණු පිළිබඳව කල් තැබීමේ විවාදය පසුගිය 05දා පාර්ලිමේන්තුවේදී පැවති අතර එහිදී අමාත්‍යවරයා ඉහත අදහස් ප්‍රකාශ කළේය. මෙම විවාදය තුළ අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ-

“අපේ රටේ ජන සංඛ්‍යාවෙන් මිලියනකට ඉන්න විනිසුරන් ගණන 18යි. අධිකරණ සේවා කොමිසන් සභාව 2022 දී අපෙන් ඉල්ලලා තිබෙනවා අධිකරණ 174ක් අලුතින් පිහිටුවන්න කියලා. රටේ තිබෙන ආර්ථික තත්ත්වය එක්ක එහෙම අධිකරණ පිහිටුවන්න අපිට බැහැ. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 දෙනෙක් අධිකරණ ශාලා 4ක නිරන්තරයෙන් නඩු අහනවා. පවතින නඩු 5482යි. එක විනිසුරුවරයෙක්ට විසඳන්න තියෙන නඩු සංඛ්‍යාව ගත්තොත් නඩු 322ක්. අභියාචනාධිකරණයේ විනිසුරන් සංඛ්‍යාව 20යි. අභියාචනාධිකරණ 10ක් ක්‍රියාත්මකයි. 2022 වෙද්දී පැවති නඩු සංඛ්‍යාව 3423යි. එක විනිසුරුවරයෙක්ට නඩු 171ක් විසඳන්න තිබෙනවා.

සිවිල් අභියාචනාධිකරණයේ අධිකරණ 22කක් තිබෙනවා. නඩු සංඛ්‍යාව 6800යි. වාණිජ මහාධිකරණ 04ක් තිබෙනවා. තිබෙන නඩු ගණන 8376යි. එයින් නඩු 5808ක්ම බේරුම්කරණය සම්බන්ධ නඩු. විමසීමට සාමාන්‍යයෙන් නඩු 2568ක් තිබෙනවා. එතකොට එක විනිසුරුවරයෙක්ට නඩු 488ක් විසඳන්න අවශ්‍යයි.

අපරාධ මහාධිකරණ 48ක් තිබෙනවා. එහි නඩු 29723ක් තිබෙනවා. දිසා අධිකරණ 61ක් අස්සේ නඩු දෙලක්ෂ හැට තුන් දහස් හාරසීය අසූ එකක් තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල අටලක්ෂ තුන් දහස් හයසියය හතලිස් දෙකක් නඩු තිබෙනවා.

ළමා මහේස්ත්‍රාත් අධිකරණවල නඩු 1168ක් තිබෙනවා. කම්කරු විනිශ්චය සභාවල නඩු 5225ක් තිබෙනවා. මහාධිකරණවල පවතින අපරාධ නඩු 29723ක් තිබෙනවා. ළමා අපචාර නඩු 5550ක් තිබෙනවා. ස්ත්‍රී දූෂණ නඩු 4312ක් තිබෙනවා. මේ ළමා හා ස්ත්‍රී නඩු වර්ග දෙකේම එකතුව 9862කක්. අපි මේගැන ලැජ්ජාවිය යුතුයි”

මෙම විවාදය තුළ අදහස් දක්වනු ලැබූ හිටපු අධිකරණ අමාත්‍ය වර්තමාන විදෙස් කටයුතු පිළිබඳ අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර ඇත්තේ නඩු ප්‍රමාදය මගහරවා ප්‍රශස්ථ සේවයක් ලබාදෙන්නට නම් වහාම අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට ලක්කළ යුතු බවය.

Social Sharing
නවතම පුවත්