ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන වල ඉඩකඩ ඉක්මවා යයි!

පහුගිය දිනවල ජනමාධ්‍ය වල වෙනම ඉඩක් වෙන් වුයේ කෝවිඩ් 19 වසංගතයේ නවතම තොරතුරු පැවසීමටය. නමුත් දැන් ඇතැම් රජයේ ජන මාධ්‍යට මෙන්ම රටේ පුද්ගලයින්ටද කොවිඩ් ගැන වෙන් කිරීමට කාලයක් නැත. නමුත් කෝවිඩ් 12 වෙනි මරණයද පහුගිය දිනක වාර්තා විය.

දැන් සම්පුර්ණයෙන්ම පාහේ රට විවෘත වෙමින් ඇත. මේ අතර ඇතැම් රටවල දෙවැනි කෝවිඩ් වසංගතයක් හටගන්නා අයුරුද පෙනෙන්ට ඇත.

නීති විරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කෝවිඩ් වසංගතය පැතිරී යෑමේ වැඩි අවධානමක් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසන්නේ මෙවන් පසුබිමක් තුලදීය.

PCR පරීක්ෂණ සමාජය තුළ සිදුකරනු ලැබුවත් කිසිදු රෝගියෙකු මේ දක්වා සමාජයෙන් වාර්තා වී නොමැති බව සුදත් සමරවීර වැඩිදුරටත් පෙන්වා දි සිටියි.

ඊයේ දිනය තුලදී (25) මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 12 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර  ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2971ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2816ක් වේ.  මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 143ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.

කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව ඊයේ දිනයේදී  PCR පරීක්ෂණ 1,580ක් සිදුකර තිබෙන අතර මෙරට මේ දක්වා සිදුකළ සමස්ථ PCR පරීක්ෂණ ගණන 211,090ක් වේ.

මේ අතර රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල පවතින ඉඩකඩ ඉක්මවා යාම නිසා ඊශ්‍රායාලය ඇතුළු මැදපෙරදිග රටවල සිටින ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම දින නියමයක් නොමැතිව කල් දැමීමට රජය තීරණය කර ඇත.

ඊශ්‍රායාලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන්ව ඇත.

යළි මෙරටට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඊශ්‍රායලයේ රැඳී සිටින ලාංකිකයින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ මෙම මස 30 වෙනිදා සංවිධානය කර තිබු විශේෂ ගුවන් ගමන ද ඒ අනුව දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනය

Social Sharing
නවතම