ඔබ දන්නවාද අප උගුල් අටවන්නන් බවට පත් වෙලා – ඉන්යාරිතෝ

-සුභාෂිණි චතුරිකා-

අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ යනු ඇකඩමි සම්මාන උළෙලහිදී පස් වරක්ම සම්මානයෙන් ඇගයීමට ලක් වූ මෙක්සිකෝ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි, ලේඛකයෙකි, චිත්‍රපට නිෂ්පාදකවරයෙකි, එසේම 2006 වසරේ කාන් චිත්‍රපට සම්මාන උළෙලෙහි දී හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ද ඔහු දිනා ගත්තේය.

ඔස්කාර් චිත්‍රපට සම්මාන ඉතිහාසයේ පළමුවරට මෙක්සිකෝ ජාතික අධ්‍යක්ෂකවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක් ලෙස කිසියම් සම්මානයකට යොජනා වූයේ චිත්‍රපට නිර්මාණකරුවෙකු වූ ඉන්යාරිතෝය. ඔහු අධ්‍යක්ෂණය කළ පළමු වෘත්තාන්ත චිත්‍රපටය Amores Perros (2001) වන අතර එය එම වසරේ ඇකඩමි සම්මාන උළෙලෙ දී හොඳම විදෙස් චිත්‍රපටය සඳහා වූ සම්මානයට ද යෝජනා වූයේය. ඉන්පසු 2003 වසරේදී, 21 Grams නමින් චිත්‍රපටයක් නිර්මාණය කරමින් ඔහු ඉංග්‍රීසි භාෂා සිනමාවට පළමුවරට අවතීර්ණ වූයේය.

2006 වසරේදී ඉන්යාරිතෝ අධ්‍යක්ෂණය කළ Babel චිත්‍රපටය, එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂක සහ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන හතකටම යෝජනා වූවා පමණක් නොව, එම වසරේ කාන් චිත්‍රපට උළෙල් දී හොඳම අධ්‍යක්ෂකවරයාට ට හිමි සම්මානය දිනා ගැනීමට ද එම චිත්‍රපටය ඉන්යාරිතෝට ඉඩ හසර ලබා දුන්නේය. Amores Perros, 21 Grams, Babel යන චිත්‍රපට තුන්ඈදුතු නිර්මාණ වන නමුත් ඒ එකිනෙක චිත්‍රපට, සම්ප්‍රදායික සිදුවීම් පෙළ දිගහැරීමේ ශෛලියෙන් අපගමනය වී, කාලය සහ අවකාශය ඛණ්ඩනය කරමින්, දෘෂ්ටි කෝණය එකිනෙකාට මාරු කරමින් නිර්මාණය කොට ඇත්තේ මානවීය තත්වයන් වඩා හොඳින් ගවේෂණය කිරීම සඳහාය.

ඉන්යාරිතෝ 2010 වසරේ Biutiful නම් ස්පාඤ්ඤ භාෂාවෙන් චිත්‍රපටයක් නිර්මාණය කළ අතර එය ද ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය සඳහා පිදෙන සම්මානයට යෝජනා වූයේය. ඉන් අනතුරුව 2015 වසරේ ඔහු නිර්මාණය කළ Birdman චිත්‍රපටය ඉන්යාරි‍තෝගේ සිනමා ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් විය. එම චිත්‍රපටය ඇකඩමි සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂක, චිත්‍රපටය, හොඳම තිර රචනය, හොඳම සිනමාරූපණය වෙනුවෙන් ලෙස සම්මාන හතරක් දිනා ගත්තේය. ඉන් නොනැවතුනු ඉන්යාරිතෝ ඊළඟ වසරේ ඔහු අධ්‍යක්ෂණය කළ, ලියනාඩෝ ඩිකැප්රියෝ සහ ටොම් හාඩි රඟන, The Revenant චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ඇකඩමි සම්මානය දිනා ගත්තේය.

ඇකඩමි සහ කාන් සිනමා සම්මාන උළෙලවලදි සිය නිර්මාණ උසස් ඇගයීමකට ලක් වුණු මෙම කෘතහස්ත සිනමාවේදීයා 2019 වසරේ පැවැත්වුණු හැත්තෑදෙවැනි කාන් සිනමා උළෙලහි ජුරි සභාවේ සභාපතිවරයා ද ලෙස කටයුතු කළේය. පහතින් දැක්වෙන්නේ අලෙහන්ද්‍රෝ ගොන්සාලේස් ඉන්යාරිතෝ සමඟ The talk වෙබ් අඩවිය කරන ලද සංවාදයක සංක්ෂිප්ත පරිවර්තනයකි.

ඉන්යාරිතෝ මහත්මයා, සිනමාකරුවෙක් ඔහුගේ චිත්‍රපටය තුළ ජිවත් විය යුතුද?

මම හිතන්නෙ සෑම චිත්‍රපටයක්ම, එය කුමක් වුවත් එක්තරා විදියකින් එය ඔබේම විස්තාරණයක්. මම කළ සෑම චිත්‍රපටයක්ම මගේම විස්තාරණයක්. යම්වි‍ටෙක මට දැනිලා තියෙනවා, චිත්‍රපට සැබෑව හා මුසු වෙන සැටි. හදිසියේම නොපැහැදිලි රේඛාවක් පෙනී නොපෙනී යනවා, අනතුරුව චිත්‍රපටය තුළ තේමාත්මකව සිදුවන දේ සැබෑ ලෙසම ඔබේ ජීවිතය වට කරගන්නවා. එය මට අනේක වාරයක් සිදු වෙලා තියෙනවා.

විශේෂයෙන් මොන වගේ චිත්‍රපට කරන විටද?

මෙවර The Revenant චිත්‍රපටය රූගත කරද්දි, එහි තේමාව හා ගොඩනැඟුණු භෞතික වට පිටාව අපේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් වුණා. වතුර අසීමාන්තිකව සීතලයි, එක දවසක් අපට උෂ්ණත්වය සෘණ හතළිහක් තරම් පහළ වැටුණ පරිසරයක වැඩ කරන්න සිදු වුණා. චරිත වල භෞතික යථාර්තය අපේ ජීවිත තුළින් මතුවෙමින් එය අපගේ කායික අත්දැකීමක් බවට පත් වෙමින් තිබුණා.

ඇයි ඔබ නිතරම එවැනි දුෂ්කර තත්වයන් යටතේ රූගත කීරිම් කරන්න පෙළඹෙන්නේ?

මම හරි කැමතියි එළියට බැහැලා ගිහින් වනගත වෙන්න, නැවතත් අප‍ගේ ඉපැරණි සම්ප්‍රදායන් වෙත යන්න, දේවල් සැබෑවට සිදුවන සිනමාවේ ප්‍රභවයන් වෙත ගොස් සැබෑ වටාපිටාව තුළ රූගත කිරීම් කරන්න.

එවැනි ස්ථානවල පසුතල නිර්මාණය කරමින් හෝ ඩිජිටල් තාක්ෂණය ආධාරයෙන් අප වටා කෘතිම පරිසරයක් නිර්මාණය කිරීමේ හැකියාව අප සතුව නැහැ. ඔන්න හදිසියේම යථාව සහ සැබෑ ස්වභාවික අංගෝපාංගයන්ගේ සංකීර්ණ බව මෙන්ම ස්වභාවික ආලෝකය අපට ති‍‍බෙනවා…. මට හොඳටම පැහැදිලියි පරිඝණකය හෝ පසුතල නිර්මාණකරුවා කෙතරම් සුපිරි තත්වයේ පසු වුවත්, කවදාවත් එය එවැනි වටාපිටාවකට ගැලපෙන්නේ නැහැ.

ඇයි නැත්තෙ?

එහි ඇති සංකීර්ණත්වය හෝ සෞන්දර්ය නිසා පමණක් නොවෙයි, නමුත් එවැනි චිත්‍රපට කිරිම නිසා ඇති වන මනෝභාවයත් නිසායි. ඔබ දන්නවාද? එහි ඵලවිපාක අප ජීවත්වන මුළු සැකැස්ම වෙතම බලපානු ලබනවා, මම සැබවින්ම කැමතියි එවැනි ආකාරයේ සංවේදනයක් අත් දකින්න. චිත්‍රපටයක් තැනීමේ වීර චාරිකාව අවසානයේ එය චිත්‍රපටයක් බවට පත්වෙනවා. ඔබ දන්නවාද අප උගුල් අටවන්නන් බවට පත් වෙලා. එය ඉතාමත් විශිෂ්ඨයි. එය ඉතාමත් භාවාත්මක වගේම භෞතිකව දැනෙන සුළු අත්දැකීමක්.

The Revenant

මට මතක් වෙනවා, වර්නර් හර්සෝග් ගේ Aguirre, the Wrath of God චිත්‍රපටය. ඔහු විශ්වාස කලා පෙරුවියානු වර්ෂා වනාන්තර තුළ ඉතාමත් අසීරු තත්වයන් යටතේ චිත්‍රපටය රූගතකීරීමේ කටුකභාවය චිත්‍රපටය තුළට ද කාන්දු වෙනු ඇතියි කියා?

ඔව්. හර්සෝග් ගේ Aguirre හෝ Fitzcarraldo මා මත බලපෑමක් කළා. ඒවගේම අකිරා කු‍රොසෝවා නිර්මාණය කළ Dersu Uzala නම් චිත්‍රපටය මෙන්ම Apocalypse Now වැනි චිත්‍රපට පවා. මෙ‍ම චිත්‍රපට කියන්නෙ මිනිසුන් ස්වභාවදහමට එදිරිව නැඟී සිටි අවස්ථා. ඒ වගේම එම සිනමා නිර්මාණ එක්තරා ආකාරයකට චරිතයක උද්වේගී මනෝභාවය විසින් සිය ආධිපත්‍යය තහවුරු කරගත් අවකාශයන් ද වනවා. මම එවැනි ආකාරයේ චිත්‍රපට වලට හරිම ආදරෙයි.

නමුත් ඒ ආකාරයෙන් රූගත කිරීම් සිදු කරන්න කිසියම් ගෙවීමක් කරන්නත් සිදු වෙනවා. Aguirre නිර්මාණ කාර්යය අතරතුර හර්සොග් සහ ක්ලොස් කින්ස්කි එකිනෙකාව මරා දමන්න ඉඩ තිබුණා ඔවුනට දැනුන මානසික පීඩනය නිසාම?

ඔව්. ඔබ එතැනට ගියාම ඔබට වැටහෙන්න ගන්නවා ඔබ හිතුවාට වඩා එය දහ ගුණයක් දුෂ්කරයි කියලා! මා ගත් බොළඳ තීරණයක අවසාන ප්‍රතිඵලය තමයි චිත්‍රපටය. මම එවැනි තීරණයක් ගත්ත‍ෙ මම මුළුමනින්ම අන්ධව සිටි නිසා. ඔබට සිදු වෙනවා සැප පහසුවට සිටීමේ සියළුම අවස්ථා අත්හරින්න සහ මුළු දවසම තිස්සේම ඒ හා සටන් වදින්න. එය තමයි ක්‍රමය. එය හරියට කඳු නඟිනවා වාගේ: ඔබ කඹයක් වත් නැතිව කන්දක මඳ දුරක් නැඟ ඇත්තේ නම්, ඉතාම කුඩා අතපසු විමක් කියන්නෙ ඔබ බිම ඇද වැටී මිය යනවා කියන එක. මේ චිත්‍රපටයේ රූගත කිරීම් වලදි හැමදාම අපට දැනුනේ එහෙමයි.

The Revenant රූගත කිරීම් වලදි

එය හරිම භයානකයි.

මට කොච්චර පිස්සුද කියලා හිතත්දීත් ටිකක් බය හිතෙනවා තමයි! ඉතාමත් ලේසියෙන් හැමදේම වරදින්න ඉඩ තිබුණා…. හැමදාම කප්පරක් අභියෝග. ඔබ ඔබගේම කාර්යය තුළ නිමැවුම බවට පත් වෙනවා. විටෙක ඔබයි නිමැවුම්කරුවා ඒත් සමහරවිට ඔබ නිමැවුමද වනවා. ඉතින් ඔබ ඔබගේ නිර්මාණ තුළ පැවැත්ම සාදා ගන්නා නිමැවුමක් පමණයි. මේ සඳහා ආයෝජනය කරන මුදල, එවැනි උන්නතිකාමි කර්තව්‍යයක වැරදි විය හැකි තැන් හෝ පවත්වා ගත යුතු ප්‍රමිතිය ඉතා ඉහළයි. මම මගේම නීති තුළ හිර වෙලා. මට ආපසු හැරෙන්න බැහැ, මම බිත්තියෙ ඔළුව ගහගත්තා. ඒ ව‍ගේම තමයි මම එය අවසාන නොකළා නම් හෝ මට උවමාන විදියට මම අව‍සාන නොකළේ නම් එයත් මහා විනාශයක් වන්නට ඉඩ තිබුණා. එය හරියට මැරතන් එකක් වගේ. ඔබට නවතින්න විදියක් නැහැ, ඔබට එය අවසාන කරන්නම සිදු වෙනවා. ඔබට සිහි නැති වෙනවා වගේ දැනෙන්නත් ඉඩ තියෙනවා, ඒ වුනත් ඔබට තරඟය අවසාන කරන්න සිදු වෙනවා.

ඔබගේ ව‍ෘත්තිය විසින් ඔබගේ විවාහ ජීවිතය වඩාත් දුෂ්කර කරන හැඩයි.

මම ප්‍රාර්ථනා කරනවා මම ඉක්මනින් දික්කසාද නොවේවි කියලා. එය ඉතාම අමාරුයි. ඉතාම අමාරුයි. චිත්‍රපට නිර්මාණයකරණය විසින් බොහෝ දේ ඉල්ලා සිටිනවා. ඔබේ හැම ඉලව්වක්ම ඉල්ලා සිටිනවා. ඉතින් ඔබට වැඩියෙන්ම ඕනෑ කරන මිනිසුන් ගෙන් ඔබට ඈත් වී ජීවත්වීමට සිදු වෙනවා. ඒක තමයි අමාරුම කාර්යය.

Birdman

ඔබ The Revenant චිත්‍රපටයේ වැඩ කරන අතරතුර තමයි ඔබට Birdman චිත්‍රපටය සඳහා ඔස්කාර් සම්මානය හිමි වුනේ. හිතෙන්නෙ නැද්ද මේ විවේකයක් ගන්න කාලය කියලා?

මම මැරතන් තරඟ දෙකක් දිව්වා. ඉතින් මට දැන් නවතින්න ඕනෑ. අවංකවම කියනවා නම්, Birdman චිත්‍රපටයට මොකද වෙන්නෙ කියලා තේරුම් ගන්නවත් මට වේලාවක් තිබුණේ නැහැ. එය ඉතාමත් අසාමාන්‍ය තත්වයක්. මම හිතන්නෙ මට මාස කිහිපයක් වත් විවේක ගන්න ඕනෑ, පසුගිය වසර කිහිපය තුළ මගේ ජීවිතය තුළ මොනවද සිදු වුනේ කියලා තේරුම් ගන්න. සාමාන්‍යයෙන් මම සෑම චිත්‍රපට නිර්මාණයකටම පස්සෙ අවුරුදු දෙක තුනක විරාමයක් ගන්නවා. ඉතින් දැන් මට හිතෙන එකම දේ තමයි ඊළඟ අවුරුදු කිහිපය පුරාම දීර්ඝ විවේකයක් ගන්න එක. මට එය ඇත්තටම අවශ්‍ය කරනවා.

Birdman සහ The Revenant චිත්‍රපට වලට මුදල් සැපයු, සහ ඊට පෙර Once Upon a Time in America and Brazil වැනි චිත්‍රපට නිෂ්පාදනය සඳහා අවශ්‍ය සහය ලබා දුන් ආර්නොන් මිල්චන් වැනි ව්‍යාපාරික දැවැන්තයෙක් අවශ්‍ය වනවා නේද මෙවැනි යෝධ සිනමා ව්‍යාපෘති සාර්ථක කර ගන්න?

අනිවාර්යයෙන්ම ඔව්. මේ ආකාරයේ චිත්‍රපට බිහි කරන්න, ඔබට අවශ්‍ය වනවා එවැනි තදබල උද්යොගයක් සහ උසස් රසඥතාවක් ඇති, කලාවට ආදරය කරන, විනාශකාරී නොවන උන්මන්තකයෙකුව.

අනෙකුත් බොහෝ දෙනා මුදල් ගැන බොහෝ සෙයින් වද වෙනවා නේද?

ඒ නිසා තමයි මෙවැනි ආකාරයේ දැවැන්ත සිනමා නිර්මාණ තවදුරටත් බිහි නොවෙන්නෙ. ගොඩක් අය හිතන්න‍ෙ මුදල් ගැන. ඔවුන් එවැනි නිර්මාණ කරන්නෙ ලාබය ගැන බලා ගෙන. හැමදේම ලාබය විසින් මෙහෙයවනවා නම්, චිත්‍රපටයත් භාණ්ඩයක් හෝ කිසිවෙක් එතරම් වද නොවන, වැඩිමනත් ‍ප්‍රේක්ෂකයින් ගෙන්වා ගැනීම පමණක් අරමුණ කොටගත් ලේසියෙන් නිමවන නිෂ්පාදනයක් බවට පත් වනවා. එවැනි භයානක තත්වයක අප ඉන්නෙ. ලාබය විතරයි. ඉස්සරත් එහි වෙනසක් තිබුණා කියලා හිතන්න තරම් මම බොලඳ නැහැ. ඉස්සරත් එය එසේමයි, ඒත් දැන් වන විට පෙර නොවු වීරූ ආකාරයෙන් තත්වය බරපතලයි.

Babel

පසු විපරමක් ලෙස හිතනවානම්, ඔබ නැවතත් The Revenant වැනි චිත්‍රපට නිර්මාණකරණයට එලඹෙන්නට ඉඩ තියේවිද?

මම එය නිර්මාණය කිරීම පිළිබඳ කිසිදු ආකාරයක පසු තැවීමක් නැහැ. මම හිතනවා මම කළ සියලු දෙයටම කිසියම් වටිනාකම් තියෙනවා කියලා. ඒ ගැන මම ආඩම්බර වෙනවා. නමුත් එවැන්නක් මම නැවතත් කරන එකක් නැහැ(ඔහු සිනාසෙයි). එය අසීමාන්තිකව අසීරුයි. සිමා රහිතව එය බොහෝ දේ ඉල්ලා සිටිනවා‍. අවංකවම එය තම පැවැත්ම පිළිබඳ ක්‍රියාවක් බවට පත් වෙනවා. සිනමාකරුවකු ලෙස මම එවැනි දුෂ්කර සහ අභියෝගත්මක ‍නිමේෂයන් බොහොමයක් පසු කොට තිබෙනවා.

ඔබ එවැනි නිමේෂයන් තුළ කිසියම් බලාපො‍රොත්තුවක් සොයා යනවාද?

යම් විටෙක ඔබ‍ තුළ විශ්වාසය අතුරුදහන් වූ විට, ඔබ තේරුම් ගන්නවා ඔබ සිහින මැවූ ආකාරයට දේවල් සිදු වීමේ ඉඩ කඩක් නැහැ කියලා. නමුත් ඔබ දිගටම උත්සාහ කරනවා, ඉතින් හදිසියේම කිසිවක් කරණමක් ගසමින්ම මතු වෙනවා. ඉතිරි සියල්ල ඒ අනුව නැවත සැක‍සෙනවා. හදිසියේම එතෙක් අකර්මණ්‍ය ව තිබු සියල්ල සන්සුන්ව ගලා ගෙන යන්න පටන් ගන්නවා.

උපුටාගැනීම –https://www.lucernanotes.net

Social Sharing
අවකාශය නවතම සාකච්ඡා