ජූලි-සැප්තැම්බර් පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුපෙන් අඩක් දීමට කැබිනට් අනුමැතිය!

නව රජයේ පත් වූ කැබිනට් අමාත්‍ය මණ්ඩලය පහුගියදා 15 දා තීරණයක් ගෙන ඇත්තේය. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී  තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙනි.

කොවිඩ් වසංගතය නිසා රටේ සියලු කටයුතු මාස දෙකක පමණ කාලයක් අඩපණ වූ අතර පුද්ගලික අංශයේ සියලු කර්මාන්තශාලාද වසා දැමුණි.

නමුත් රට යථා තත්ත්වයට පත් වන විට පුද්ගලික අංශයේ කර්මාන්ත ශාලා විවෘත වුයේ අඩකි. එයද සේවකයින් කොටසක් යොදවාගෙනය. ඔවුන්ට විදේශීය ඉල්ලුම් නොලැබීම මත කර්මාන්තශාලා පවත්වාගෙන යාම පාඩු බව පවසා සේවකයින්ගේ මූලික අයිතීවාසිකම් උල්ලංඝනය වන අයුරින් එළියට දැම්මේ වන්දි මුදලක්ද නැතිවය.

මේ පිලිබඳ අප ලිපි කිහිපයක් මඟින් කිහිපවරක් කථා කළ නමුත් මේ වන විට කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ලෙසර් ලයින් ආයතනය වසා දමා ඇත. එමෙන්ම ස්මාර්ට් ෂර්ට් ආයතනයේ කොටසක් වසා දමා ඇති අතර ක්‍රිස්ටල් මාටින් එකේ සේවික සේවිකාවන්ගේ පැමිණීමේ දිරි දීමනාව වු රුපියල් 1500 කපා හැර ඇත.

ස්මාර්ට් ෂර්ට් ආයතනයේ දැනට සේවය කරනු ලබන සේවකයින්ට ඉතා අඩු වැටුපක් ලබා දෙන අතර එහි පාලනාධිකාරිය කම්කරු නීතිරීති වලට අනුකූලව කටයුතු කරන බවක් දක්නට නොමැත.

නමුත් කැබිනට් අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ පුද්ගලික අංශයේ හිමිකාරිත්වය එකඟ වු පරිදි මැයි මස හා ජුනි මස ගෙවන ලද එනම් සම්පුර්ණ වැටුපෙන් අඩක් හෝ අවම වශයෙන් රුපියල් 14500 ක මුදල තවදුරටත් ජුලි මස සිට සැප්තැම්බර් මස දක්වා සේවකයින්ට ගෙවන ලෙසටය.

නමුත් මෙය සියලුම සේවකයින්ට ලැබෙන්නේද? නැද්ද? යන්න නම් කිසිදු පසු විපරමක් කම්කරු අමාත්‍යාංශය හරහා මෙතෙක් සිදුව නැත. එසේ නම් ඔය කියනා ආකාරයට වැටුප් අහිමි වූ, සේවක වරප්‍රසාද අහිමි වූ සේවකයින් බොහෝමයක් ඔවුන්ට මුණ ගැසෙනු ඇත.

  • ශානිකා
Social Sharing
නවතම