අද මැයි 18, ඔබ එන විට සුදු මල් රැගෙන එන්න..!

-තරිඳු උඩුවරගෙදර-

“War does not determine who is right – only who is left” – Bertrand Russell
‘යුද්ධය නිවැරදි කවුදැයි තීන්දු නොකරයි- ඉතිරි වෙන අය පමණක් තීන්දු කරයි‘ – බර්ට්‍රන්ඩ් රසල්

අලුත්ම ආරංචිය තමයි පොහොට්ටුවට සම්බන්ධ පිරිසක් අද උදෑසන 10.30ට බොරැල්ල කනත්ත අසලදී ආරම්භ කිරිමට නියමිත මුල්ලිවෛක්කාල් සැමරුමට බාධා කිරීමට සැලසුම් කරන බව. එය මැයි 09 වගේ ප්‍රහාරයක් නොවී, යම්කිසි කලබල තත්වයක් ඇති කිරීමේ උත්සාහයක් විය හැකියි.

එදා ෂෙල්, මෝටාර් සහ යුද්ධය මැද මුල්ලිවෛක්කාල්හි කොටු වූ ජනතාවට තරම්, අද අපට අවදානමක් නැහැ. ඒ නිසා අද පැමිණීමට සිටි අය මේ ආරංචියෙන් පසුබට වෙන්න ඕනෑ නැහැ.

නොපැමිණීමට සිටි අයගෙන් පවා පැමිණෙන ලෙස ඉල්ලන්නේ, අපි මේ කරන්නේ කතාන්දරයක් ජනගත කරනවාට එහා ගිය දෙයක් වන නිසා. උතුරේ එදිනෙදා මිනිසුන්ගේ මතකයේ තියෙන කතාවක් සමග දකුණේ අපි හිටගන්නවාය කියන පණිවිඩය දීමයි මෙතැන සිද්ධ වන්නේ. සිය දහස් ගණන් මිනිසුන් දෑසින් දුටු, සමීපතමයන්ගෙන් ඇසූ බිහිසුණු දුක්බර කතාවකුයි මේ. පුද්ගලිකව මමත් මේ කතාව ඇසින් දුටුවන්ගෙන් ඍජුව අසා තිබෙනවා. ඒ මිනිසුන් තමයි අද පාන්දර සිට මුල්ලවෛක්කාල් – නන්දිකඩාල් ප්‍රදේශවලට සාමයෙන් – අවිහිංසාවාදීව එක් වන්නේ.

මතක තබාගන්න! මේ වැඩසටහනට විරුද්ධව එන්නේ අරගලයට විරුද්ධ වූ අයම බව. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ අයම බව. මේ වැඩසටහනෙන් රිදෙන්නේ ඔවුන්ට බව. මේ වැඩසටහනට යන්නේ දකුණේ ජනතාව ‘අමතක කළ‘ පිරිසක් නොවන බව. ‘උතුර ගැන විතරද කැක්කුම?‘ කියලා ඇතැම් කමෙන්ට් තිබුණා. අපට එරෙහිව අදහස් අවුස්සන්නට කියා තිබුණා.

නැහැ! අපි දකුණේත් – උතුරේත් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කළා. අද, ‘දේශප්‍රේමීන්‘ ලෙස එන කල්ලි කණ්ඩායම් තමයි උතුරේවත් – දකුණේවත් ජනතාව වෙනුවෙන් කතා නොකරන්නේ. උතුරේත් – දකුණේත් ජනතාවට එරෙහිවම ක්‍රියා කරන්නේ.

අප සිංහල ජාතියට එරෙහි, රටේ ‘භෞමික අඛණ්ඩතාවට එරෙහි‘ කිසිවක් කරන්නේ නෑ. සිංහල ජාතිය කියන්නේ ජනතාව ඇන්දවූ ඒ ‘ප්‍රභූ කල්ලිවල‘ කැම්පේන් ටිකට නෙවෙයි. ජාතිවාදීන්ගේ ප්‍රචාර සහ ජාතිය පටලවාගන්න ඕනෑ නැහැ.

අද බොරැල්ල කනත්ත වටරවුමේ තියෙන්නේ මළගෙදරක්, මතක බණක්, දානයක් වාගෙයි.

සහෝදර ජාතියක් උතුරේදී සිදුකරන ශෝකී සැමරුමකට සහයෝගය දෙමින්, උතුරටත් ‘අපි ජනතාව විදියට උඹලා එක්ක ඉන්නවා‘ කියන පණිවිඩය දෙන්නයි මෙය කරන්නේ. උතුර – දකුණ – නැගෙනහිර – කඳුරට එක් වූ අනාගත ජනතාවගේ ඒකාබද්ධ දේශපාලන ගමනකට මෙය වැදගත් පියවරක්.

වැඩසටහනේ ස්වරයත් ඒ වාගෙයි. ගැටලුව වන්නේ එවැනි අවිහිංසාවාදී ශෝකී සැමරුමක් වුව හිංසනයෙන් සහ වෛරයෙන් යටපත් කරන්න පුළුවන්.

එමෙන්ම ජනතාව බෙදා වෙන් කරපු පාලකයන්ට, ජනතාව එකිනෙකාගේ දුක බෙදාගැනීම, එකිනෙකාව තේරුම් ගැනීම දිරවන්නේ නෑ. නිල හමුදාවල සිට කල්ලි කණ්ඩායම් දක්වා විවිධාකාර අය එවා බාධා කරන්නට ඉඩ තිබෙන්නේ ඒ නිසා.

අපට ආරක්ෂාව ගැන බියක් නෑ. (ශ්‍රී ලංකා පොලීසිය අපව ආරක්ෂා කරන නිසා නෙවෙයි) මැයි 09 වැනිදා අපට ගහන්නට ඇවිත්, මෙවැනි කණ්ඩායම්වලට ලැබුණු අත්දැකීම අමතක නැති නිසා. ඉස්සර වාගේ ‘දේශද්‍රෝහී‘ ලේබල් අලවන්න බෑ.

ඒ නිසා පොහොට්ටු කල්ලිවලට කියන්නේ ඔබ එන්න, ඔබ පතන කලබලය ඇති කර බලන්න. අපට එරෙහිව පෙළගැහෙන්න, ගොඩනැගෙන්න බලන්න. ඔබේ ජාතිවාදී නාට්‍යය රඟදක්වන්නට උත්සාහ කරන්න.

අපි ඒ කලබලයම, ඒ ආන්දෝලනයම, ඒ ගැටුමම අපේ හඬ තව තවත් ජනතාව අතරට ගෙන යන්නට සවියක් කර ගන්නවා. අප එයම පාවිච්චි කරමින්, අනලස්ව මේ කතාව තවත් වැඩි වැඩියෙන් කියනවා.

අපි අවදානමට බය නැහැ. ඔබ ආයුධ අරන් සෙනඟක් ලෙස ඇවිද එද්දී අපි ගෝල්ෆේස් එකට ගිහින් බලා සිටියේ, අප සතුව බාහු බලය තිබුණු නිසා නෙවෙයි. අපි කරන දේ නිවැරදි බව හෘදය සාක්ෂියේ විශ්වාසය තිබුණු නිසා.

ඡායාරූපය අද උදෑසන නන්දිකඩාල්හි පැවති සැමරුමකින් – Kumanan Kana

මැයි 18 – මුල්ලිවෛක්කාල්හි 2009දී මියගිය දෙමළ ජනතාව උදෙසා උතුරු නැඟෙනහිර පවත්වනු ලබන සැමරුම්වලට සමගාමී සමරුවක්, උදෑසන 10.30ට බොරැල්ල කනත්ත වටරවුමේදී පැවැත්වේ.

සියල්ලන්ටම ආරාධනා. ඔබ එන විට සුදු මල් රැගෙන එන්න.

උපුටාගැනීම – ෆේස්බුක්

 

Social Sharing
නවතම විශේෂාංග