දෙවන ලෝක යුද්ධයේ අවසන් යුධ මෙහෙයුම…!

1945 මැයි 2 වනදා බර්ලින් හි නට්සි ජර්මන් හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් හෙල්මුත් වීඩ්ලිං තවමත් සටන් වදිමින් සිටි සිය සේනාංකයන්ට රතු හමුදා වෙත යටත්වන ලෙස නියෝග කළේ ය​. ඒ සමගම ජර්මන් අගනුවර සඳහා වූ සටන නිල වශයෙන් නිම වූයේ ය​.

කෙසේ වෙතත් ඒ සමගම යුද්ධය සම්පූර්ණයෙන් අවසන් වූයේ නොවේ. මහ අද්මිරාල් කාල් ඩෝනිට්ස්ගේ ප්‍රධානත්වයෙන් යුක්ත අභිනව නට්සි ජර්මන් ආණ්ඩුවට ඒ වනවිට ද මධ්‍යම යුරෝපයේ චෙකොස්ලොවැකියාවේ සහ ඔස්ට්‍රියාවේ සැලකියයුතු පිරිස් බලයෙන් යුක්ත සේනාංක තිබුණි. මිත්‍ර පාක්ෂිකයන් සමග එකඟත්වයක් ඇතිකරගෙන මෙම ප්‍රදේශවල හමුදා ඔවුන් වෙත භාරවීමේ අභිලාශයක් ජර්මානු බලධාරීන් වෙත වූයේ ය​.

ජෙනරල්ෆීල්ඩ්මාර්ෂල් ෆර්ඩිනන්ඩ් ෂෝනර් යටතේ වූ මධ්‍යම හමුදා කණ්ඩායම මේ වනවිට වූයේ මධ්‍යම සහ බටහිර චෙකොස්ලොවැකියාවෙහි ය​. සංඛ්‍යාත්මකව 900,000 ක් පමණ වූ එම සේනාංකය හමුවේ මාර්ෂල් ඉවාන් කෝනෆ්ගේ පළමු යුක්‍රේනියානු පෙරමුණ​, මාර්ෂල් රදියොන් මලිනොව්ස්කිගේ දෙවන යුක්‍රේනියානු පෙරමුණ සහ ජෙනරාල් අන්ද්‍රේයි ඉර්යොමෙන්කගේ සිව්වන යුක්‍රේනියානු පෙරමුණ පෙනී සිටියෝ ය​. ඉර්යොමෙන්කාගේ පෙරමුණට සෝවියට් හමුදාවල මිත්‍ර සේනා වූ පෝලන්ත​, රුමේනියානු හා චෙකොස්ලිවැකියානු හමුදා කණ්ඩායම් ද අයත් වූහ​.

චෙකොස්ලොවැකියාවේ ප්‍රාග් නුවර මධ්‍යම යුරෝපයේ වැදගත් මර්මස්ථානයක් බැවින් ඒ වෙත සිය අවසාන ප්‍රධාන ප්‍රහාරක මෙහෙයුමේ දී අවධානය යොමු කිරීමට සෝවියට් හමුදා නායකත්වය තීරණය කළේ ය​. ප්‍රාග් වෙත කඩිනමින් පහර දීමේ හැකියාව වූයේ ඩ්‍රෙස්ඩෙන් සිට ඒ දෙසට එමින් සිටි කෝනෆ්ට ය​. මේ අතර මලිනොව්ස්කි දකුණුදෙසින් ද ඉර්යොමෙන්කා නැගෙනහිර දෙසින් ද එදෙසට පැමිණෙමින් සිටිය හ​. සෝවියට් හමුදාවල ඉලක්කය වූයේ ජර්මානුවන් බටහිර දෙසට පසුබැස ඇමරිකානුවන් වෙත යටත් වීමට පෙර ඔවුන්ට පහර දී ඔවුන් බිඳ වැට්ටීම ය​.

මෙහෙයුම ඇරඹීමට නියමිත වූයේ 1945 මැයි 7 වනදා ය​. එහෙත් මැයි 5 වනදා ප්‍රාග් හි නට්සි විරෝධී කැරැල්ලක් දියත් කරන ලද්දේ ය​. කැරලිකරුවෝ සෝවියට් හමුදා වෙතින් ආධාර ඉල්ලා පණිවිඩ එවූහ​. එහෙයින් සෝවියට් ප්‍රහාරය දිනකින් ඉදිරියට ගෙනෙන ලදී.

මැයි 6 වනදා කත්යූෂා සහ කාලතුවක්කු වෙඩි ප්‍රහාර සමගින් සෝවියට් ප්‍රහාරය ඇරඹිණ​. කාලතුවක්කු ප්‍රහාරයේ ප්‍රබලත්වය අඩුවනවිට යුධ ටැංකි සහ පාබල හමුදා සටනට බටහ​. මුලින්ම පෙරමුණෙහි ඉදිරියට ගියේ 1 වන යුක්‍රේනියානු පෙරමුණයි. ඉන් අනතුරුව අනෙක් කණ්ඩායම් ද ඉදිරියට යන්නට වූහ​. කෙසේ වෙතත්, ප්‍රාග් කැරැල්ලට ආධාර දීමේ අදිටනින් ගමන කඩිනම් කරන ලෙස කෝනෆ් සිය පෙරමුණේ සෙබළුන්ට නියෝග කළේ ය​. දිවා රෑ නොබලා සෝවියට් හමුදා ඉදිරියට ගියෝ ය​.

ජර්මන් හමුදාවෝ හැකි සෑම අයුරින්ම සෝවියට් ඉදිරි ගමන අඩාල කිරීමට උත්සාහ කළහ​. ඔව්හු ප්‍රති ප්‍රහාර එල්ල කළහ​; බිම් බෝම්බ ඇටවූහ​; පාලම් පුපුරවා හැරියෝ ය​; හානි වූ යුධ ටැංකි ආදිය යොදාගෙන මාර්ග අවහිර කළහ​. නමුත් සෝවියට් සෙබළු නොනැවතී ප්‍රාග් බලා ඇදුණහ​.

මේ අතර මැයි 7 වනදා ප්‍රංශයේ රීම්ස් නුවරදී ජර්මන් හමුදාව කොන්දේසි විරහිතව යටත් වීමට අත්සන් කළේ ය​. එහෙත් චෙකොස්ලොවැකියාවේ වූ සේනාංක සටන්වැදීම අත් හළේ නැත​. ඔවුන් බලාපොරොත්තු වූයේ සෝවියට් හමුදාවන්ට හැකි තරම් බාධා කරමින් පසුබැස ඇමරිකානු හමුදා වෙත යටත් වීම ය​. ජෙනරල්ෆීල්ඩ්මාර්ෂල්වරයා ඇමරිකානුවන්ට භාර වුව ද ඔහුගේ සෙබළුන් වැඩි දෙනෙකුට එදෙසට යාමට කල් නොතිබිණ​.

කිලෝමීටර් 80 ක දුරක් සතුරු පෙරමුණ හරහා කඩාවදිමින් පළමුවන යුක්‍රේනියානු පෙරමුණේ 4 වන යුධ ටැංකි මුරභට හමුදාව 1945 මැයි 9 වනදා උදෑසන 4 ට ප්‍රාග් වෙත ඇතුල් වූහ​. අනෙක් පෙරමුණුවල සේනාංක ද නගරය කරා පැමිණි හෙයින් ජර්මානුන්ට පළා යාමේ අවකාශ ඇහිරිණ​. සෝවියට් හමුදාවන්ට එදා චෙක් ජනතාවගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. (වසර විස්සකට පසු 1968 දී ලැබුණු පිළිගැනීම ඊට හාත්පසින් වෙනස් බව මේ අවස්ථාවේ මතකයට නැගේ).

මේ වනවිට​, මැයි 8 වනදා (මොස්කව් වෙලාවෙන් මැයි 9) ජර්මනියේ යටත්වීමේ ලේඛනය බර්ලින් නුවර කාර්ල්හෝර්ස්ට් හිදී නැවතත් අත්සන් කිරීම ද සිදුව අවසන් ය​. පළායන අවසන් ජර්මන් ඒකක සමග සෝවියට් හමුදා ගැටුණ අතර මැයි 10 සහ 11 දිනවල චෙම්නිට්ස්, පිල්සන්, කාර්ලෝවි වාරි ආදී ප්‍රදේශයන් හිදී ඔවුනට ඇමරිකානු ඒකක ද මුණගැසිණ​. ඇතැම් අවස්ථාවල ඇමරිකානු හා සෝවියට් හමුදා ඒකක එක්ව ජර්මානුන් හා සටන් කළ හ​. ස්ලිවිච් නම් ගමේදී ඇමරිකන් කාලතුවක්කු සහය ඇතිව සෝවියට් සේනාංකයක් විසින් එස්.එස්. හමුදා භට කණ්ඩායමක් විනාශ කෙරිණ​.

මෙම ප්‍රහාරක මෙහෙයුමේදී ජර්මානු ජෙනරල්වරුන් 60 දෙනකු ඇතුළුව 850,000 ක් දෙනා සෝවියට් අත්අඩංගුවට පත්වූහ​. දහස් ගණනක් මියගිය හ​. සෝවියට් හමුදාවන්හි මියගිය හෝ අතුරුදහන් වූ හෝ පිරිස 11,000 කි. ඔවුන් ඇතමෙක් මියගියේ යුද්ධය අවසන් යයි සමස්ථ සෝවියට් දේශයම ප්‍රීතියට පත්වන අවස්ථාවේ ය​.

“ප්‍රාග් මෙහෙයුමේදී ඇදවැටුණු අවසන් සෝවියට් භටයින්ගේ සහ නිලධාරීන්ගේ සිරුරු තැන්පත් කර ඇති ප්‍රාග් හි ඔල්ශෙනි සුසානභූමිය නැරඹීමට යන අවස්ථාවන් හි ඇතැම් සොහොන්කොත්වල “මැයි 9″ යයි ලියා තිබෙනු දැකීමෙන් මම ඉමහත් සන්තාපයට පත්වෙමි. ඇත්තෙන්ම ඒ වනවිට යුද්ධය අවසන්ව තිබුණ අතර රටම යුධ ජයග්‍රහණය සමරමින් සිටියදී ඔව්හු ජීවිත පූජා කරමින් සිය මෙහෙයුම අවසන් කිරීමට නොබියව කැප වුණහ​”. – මාර්ෂල් ඉවාන් කෝනෆ්

-චාමර සුමනපාල-

Social Sharing
නවතම විදෙස්