අනන්‍යතාව හෙළිදරව්ව කිරීම හරිද?

අප ජීවත්වන්නේ ඉතා දියුණු තාක්ෂණික මෙවලම් සහ ඕනැම අයෙකුට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය අති සාමාන්‍යකරණය යුගයකය.රූපවාහිනී සහ පුවත්පත් සමාජයේ ආධිපත්‍යය දරන ලද යුගයේ යම් පුවතක් පළ කිරීමට හැකියාව ලැබුනේ ඉතා සීමිත යම් සුදුසුකම් ලත් හෝ පුහුණුවක් ලත් තැනැත්තන්ට පමණක් වුවද සමාජ මාධ්‍ය තුළ ඕනෑම අයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ හසර ලැබීම තුළ අදහස් ප්‍රකාශනයේ නිදහස අවභාවිතා වන අවස්ථා එමටය.

මෑතකාලීනව ලංකාව තුළ සිදු වූ ලිංගික අපරාධ සම්බන්ධ වින්දිතයන්ගේ ඡායාරූප සහ තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දැක ගත හැකි විය.එහෙයින් අප විමසීමට උත්සාහ කරන්නේ ලිංගික අපරාධවලට ලක් වන තැනැත්තන්ගේ අනන්‍යතාවය හෙළි වන අයුරුන් කිසියම් හෝ අයෙකුට පුවත්පතක,රූපවාහිනී නාලිකාවක,වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍යයක යම් පුවතක් පළ කිරීමට හෝ ප්‍රකාශයක් කිරීමට හැකියාව පවතිනවාද යන්නයි.මීට අදාලව මාගේ අවධානය දණ්ඩ නීති සංග්‍රහයේ 365ඇ. වගන්තිය කෙරෙහි යොමු කරමි.

” 365ඇ.(1) 345 වන වගන්තිය හෝ 360අ වගන්තිය හෝ 360ආ වගන්තිය හෝ 363 වගන්තිය හෝ 364අ වගන්තිය හෝ 365 වගන්තිය හෝ 365අ වගන්තිය හෝ 365ආ වගන්තිය හෝ යටතේ යම් තැනැත්තකුට එරෙහිව වරදක් සිදු කර ඇතැයි කියනු ලබන්නේ ද නැතහොත් වරදක් සිදු කර ඇති බව සොයා දැන ගෙන ඇත්තේ ද (මෙහි මින් මතු “ගොදුරු වූ තැනැත්තා ” යනුවෙන් මේ වගන්තියේ සඳහන් කරනු ලබන) ඒ තැනැත්තාගේ නම හෝ ඒ තැනැත්තාගේ අනන්‍යතාවය හෝ එළිදරව් වන යම් කාරණයක් මුද්‍රණය කරන නැතහොත් පළ කරන කවර හෝ තැනැත්තෙකුට අවුරුදු දෙකක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ ඒ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දඬුවම් වෙකින්ම හෝ දඬුවම් කරනු ලැබිය යුතුය.

2)ගොදුරු වූ තැනැත්තාගේ නම හෝ ඒ තැනැත්තාගේ අනන්‍යතාවය එළිදරව් වන යම් කාරණයක් මුද්‍රණය කිරීම හෝ පළ කිරීම –

(අ) ඒ වරද පිළිබඳව විමර්ශන පවත්වන පොලිස් ස්ථානය භාර නිල්ධාරියා විසින් හෝ විමර්ශනය පවත්වන පොලිස් නිලධාරියා විසින් හෝ ඔහුගේ නියමය යටතේ හෝ සද්භාවයෙන් ක්‍රියා කරමින් ඒ විමර්ශනයේ කාර්‍ය් සදහා කරනු ලබන්නේ නම්; හෝ

(ආ) ගොදුරු වූ තැනැත්තා විසින් හෝ ඒ තැනැත්තාගේ ලිඛිත අවසරය යටතේ කරනු ලබන්නේ නම්; හෝ

(ඇ) ගොදුරු වූ තැනැත්තා මිය ගොස් ඇති අවස්ථාවක ,ඒ තැනැත්තාගේ ළඟම ඥාතීන් විසින් හෝ,ඒ තැනැත්තා බාලවයස්කරුවෙකු නැතහොත් සිහිවිකල තැනැත්තකු වන අවස්ථාවක ,ඒ තැනැත්තාගේ දෙමව්පියනගෙන් කෙනෙකු නැතහොත් භාරකරු විසින් දෙන ලද ලිඛිත අවසරය ඇතිව කරනු ලබන්නේ නම්

එවැනි මුද්‍රණය කිරීමකට හෝ පළ කිරීමකට (1) වන උපවගන්තියේ ඇතුලත් කිසිවක් අදාල නොවිය යුතුය;

එසේ වුවද ,රජය විසින් පිළිගන්නා ලද යම් සුභසාධන ආයතනයක හෝ සංවිධානයක ,කවර හෝ ආකාරයකින් විස්තර කරනු ලබන එහි සභාපතිවරයා ,ලේකම්වරයා හෝ කළමනාකාරවරයා නොවන වෙනත් යම් තැනැත්තෙකුට ,ඒ ළඟම ඥාතියා විසින් ඒ අවසරය නොදිය යුතුය.

(3) (1) වන උප වගන්තියේ සඳහන් යම් වරදක් සම්බන්ධයෙන් යම් අධිකරණයක පැවැත්වෙන යම් නඩු කටයුත්තකට අදාල යම් කරුණක්,ඒ අධිකරණයේ පූර්ව අනුමැතිය නොමැතිව මුද්‍රණය කරන හෝ පළ කරන කවර හෝ තැනැත්තෙකුට අවුරුදු දෙකක් දක්වා දීර්ඝ විය හැකි කාලයකට දෙයාකාරයකින් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ බන්ධනාගාර ගත කිරීම හා දඩය යන දෙකින්ම හෝ දඬුවම් කරනු ලැබිය යුතුය.

පැහැදිලි කිරීම- අභියාචනාධිකරණයේ හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ නඩු තීන්දුවක් මුද්‍රණය කිරීම නැතහොත් පළ කිරීම ,මේ වගන්තියේ අර්ථානුකූලව වරදක් නොවන්නේ ය ”

ඉහත වගන්තිය යටතේ පහත සදහන් අපරාධවලට ලක් වූ තැනැත්තන්ගේ අනන්‍යතාවය එළිදරව් කිරීම කළ නොහැක.එනම්,

(1).ලිංගික අතවර කිරීම (345 වගන්තිය )

(2).ගණිකාවක් නොවන තැනැත්තෙකු ගණිකාවක් බවට පත් කිරීම (360 අ.වගන්තිය )

(3).ළමයින්ගෙන් අයුතු ලිංගික ප්‍රයෝජන ගැනීම (360ආ.වගන්තිය )

(4).ස්ත්‍රී දූෂණය (363 වගන්තිය )

(5).සමීප ඥාතියෙකු සමග සංසර්ගයේ යෙදීම හෙවත් ව්‍යභිචාරය(364 අ. වගන්තිය)

(6).අස්වාභාවික වැරදි (365 වගන්තිය )

(7).තැනැතන් අතර අශිෂ්ට ක්‍රියා හෙවත් සමලිංගික සම්බන්ධතා (365අ. වගන්තිය )

(8).බරපතල ලිංගික අපයෝජනය (365ආ. වගන්තිය )න ඒවාය.

මෙම වගන්තිය ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කරනු ලබන්නේ 1995 අංක 22 දරණ සංශෝධනය මගිනි.මෙම වගන්තිය 1983 දී ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කරන ලද 228A වගන්තියට අනුරූප වගන්තියක් බවත් එම වගන්තිය වගන්තිය මත පිහිටා අපගේ දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කළ එකක් බවත් පැහැදිලි වේ.

මෙම වැරදි සම්බන්ධව වින්දිතයන්ගේ අනන්‍යතාවය හෙළි වන අයුරුන් යම් අයෙක් යම් පුවතක් පළ කරන්නේ නම් අදාල වින්දිත පාර්ශවයේ අනුමැතිය ලබා ගත යුතුය.වින්දිතයා මිය ගිය අවස්ථාවක හොඉ සිහිවිකල හෝ බාලවයස්කරුවෙකු වන අවස්ථාවක එම අනුමැතිය ඥාතියෙකු විසින් රජය පිළිගත් ආයතනයකට පමණක් ලබා දිය හැකිය.එසේ නොමැතිව වින්දිතයන්ගේ අනන්‍යතාවය එළිදරව් කරමින් පළ කරනා ඕනෑම දෙයක් සම්බන්ධව අපරාධ නඩු පැවරීමේ හැකියාව පවතී.

මෙම වගන්තිය යටතේ දක්වන ලද වැරදි සම්බන්ධව විභාග වන නඩුවක තොරතුරු අධිකරණයේ අවසර නොමැතිව පළ කිරීම ද වරදක් වේ.ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හෝ පුවත්පත් මේ වගන්තිය උල්ලංඝනය කරන අවස්ථා බොහෝ බහුලය.නමුත් මේ වගන්තිය යටතේ නඩු පැවරූ අවස්ථා ගැන අපට අසන්නට හෝ දකින්නට ලැබී නැත.

ලිංගික අපරාධයක වින්දිතයන්ගේ අනන්‍යතාවය එළිදරව් කිරීම හෝ නඩු කටයුතු සම්බන්ධව තොරතුරු පළ කිරීම අපරාධමය වැරදි නිසාම පමණක් ඉන් වැලකී සිටීමට වඩා සදාචාරාත්මකව මෙවැනි තොරතුරු පළ කිරීම නිවැරැදි ද යන්න සිතා අප සියලු දෙනා මෙවැනි ක්‍රියාවලින් වැලකී සිටිය යුතුය.මානව අභිමානය ගරු කරන සමාජයක පුරවැසියන්ගේ යුතුකම වන්නේ එයයි.

 

~ නීතීඥ සාරංග වාදසිංහ ~

Social Sharing
නවතම විශේෂාංග