සත්‍ය දැනගන්න ඕනෑ ඇයි?

-කේ. සංජීව-

මම කැමතියි මේ ෆේස්බුක් සටහන පිළිබඳව කතාකරන්න. මේ සටහනේ හිමිකරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හිටපු ජවිපේ සාමාජිකයෙක්. අනෙකා ජවිපේ දැන් ඉන්න ප්‍රධාන නායකයෙක්. මේ දෙදෙනා කියන දෙයින් කෝකද ඇත්ත? මේ දෙකෙන් කවර පුද්ගලයා කියන දේද අපි පිළිගන්න ඕනෑ. මම මේක මෙහෙම උපුටන්න කල්පනා කළේ රටක් විදිහට අපිට අහිමි ‘යුක්තිය පිළිබඳ ප්‍රශ්නය’ පිළිබඳව නැවත වතාවක් ගැඹුරට හිතන්න අවස්ථාවක් මේකෙන් සලසන නිසා.

මම පහුගිය සති අන්තය ගත කළේ යුද්ධය සහ යුධ ගැටුම් දරුණුවට පැවති මුලතිව් වැලිඔය කියන සිංහල ගම්මානයේ. මේ ගම්මානය පිහිටුවීම පිළිබඳව උතුරේ දෙමළ ජනතාවට තවමත් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන් තවමත් මේ ප්‍රජාව දිහා බලන්නේ වෛරී විදිහට. උතුරු පළාත් සභාව මේ සිංහල ගම්මාන පොකුර සම්බන්ධයෙන් වැඩ කරන ආකාරය ගැන මෙහි ජීවත් වෙන සිංහල ප්‍රජාවට විශාල ප්‍රශ්න තිබෙනවා. මට හිතුනේ එවැනි අවලස්සන තත්ත්වයක් ඇතිවන්නට දෙමළ මිනිසුන්ගේ හිතේ මේ සිංහල ප්‍රජාව ගැන තිබෙන හැඟීම බලපාන්න ඇති. ‘වැලිඔය කියන්නේ අපේ ඉඩම්. බලහත්කාරයෙන් ගත්ත අපේ ඉඩම්. අපේ සහෝදරයන් ඝාතනය කරලා සිංහල මිනිස්සු අයිති කරගත්ත ඉඩම්’ මේ සිතුවිල්ල තමයි මේ තත්ත්වයට හේතුව.

ඒ වගේම වැලිඔය සිංහල මිනිස්සුන්ටත් දෙමළ මිනිස්සු ගැන තවමත් විශාල නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. ‘යුද්දේ කාලේ අපි වැඩිහරියක් ජීවත් වුණේ කැලේ. අපේ ගම්පිටින් කැති ගැහුවේ. අපිව මේකෙන් එලවන්නම තමයි හැදුවේ. අපිට ඒ අතීතය අමතක නෑ. දැනුත් පළාත් සභාව හරහා ක්‍රියාත්මක වෙන්නේ ඒක.’ මේක තමයි දැන් සිංහලුන්ගෙන් එළියට එන කතාව.

මම අහන්නේ මේ කතා දෙකම වැරදියිද? එහෙමත් නැත්තං මේ කතා දෙකෙන් වඩාත්ම නිවැරැදි මොන කතාවද? ගාමිණී දිසානායක, දිඹුලාගල සීලරතන හාමුදුරුවෝ වගේ අය මුල් වෙලා පටන්ගත්ත වැලිඔය ජනපදයට ලංකාවේ හැම පැත්තෙන්ම මිනිස්සු ගෙනල්ලා පදිංචි කළා. මිනිස්සු ආවේ ඉඩම් නැතිකම නිසා. දුප්පත්කම නිසා. මිනිස්සු ආවේ දේශසීමා ආරක්ෂා කරන්නවත්, ඒවා පුලුල් කරන්නවත්, නෙවෙයි මිනිස්සු ආවේ ජීවත් වෙන්න. ආවට වඩා ඉක්මනින් මිනිස්සු ගියා. ඒකට හේතුව වැව් 17ක් තිබුණත් වතුර නැතිකම. ඒ වාරි කර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වී පැවතීම. අනෙක යුද්ධය.

දැන් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයන්න පුලුවන් කොහොමද ? මට හිතෙන්නේ මේකට විසඳුම තිබෙන්නේ, සත්‍ය කුමක් ද කියන එක සොයාගැනීම හරහා විතරයි. අපි මුලින්ම කුමක්ද උනේ කියන ප්‍රශ්නයට උත්තරයක් සොයාගත යුතුයි. ඊට පස්සේ තමයි අපිට වගවීම සහ සංහිඳියා ක්‍රියාන්විතයකට යන්න වෙන්නේ. එතනින් පස්සේ තමයි අපිට එකිනෙකාට සමාව දීගෙන නැවත මෙවැනි වැරදි සිදුකරන්නේ නෑ කියන එකඟතාවය හරහා එකතුවෙන්න පුලුවන් වෙන්නේ. කොටින්ම කියනවා නම් තවදුරටත් මේ කෝන්තර ඉස්සරහට ගෙනියන්නේ නැතුව ඒවා අමතක කරලා එකතුවෙන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ යුක්තිය පිළිබඳ ක්‍රියාවලියකින් විතරයි. ඒ සඳහා පළවෙනි පියවර සත්‍ය සොයාගැනීම, ඊළඟට තමයි වගවීම එන්නේ. ඊටපස්සේ සමාවදීම ඊළඟට තමයි සංහිඳියාව හරහා ජාතිය එකතු කරන්න පුලුවන් වෙන්නේ.

මේක උතුරට විතරක් නෙවෙයි දකුණටත් අත්‍යාවශ්‍යයි. 1988/89 සිදුවුණ ඝාතන ගැන තවමත් මිනිස්සුන්ට නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. ඒ ඔස්සේ එකිනෙකාට වෛර කරගනිමින් තමයි මිනිස්සු තවමත් ජීවත් වෙන්නේ. ඒක නිසා තමයි විජය ඝාතනය කලේ කවුද? ඇයි ඝාතනය කළේ කියන ඇත්ත සමාජයට අවශ්‍ය වෙන්නේ. රිචඩ් ඝාතනය කළේ කවුද? ප්‍රේම් ඝාතනය කළේ කවුද? මේවා සොයාගැනීම සහ ඒ පිළිබඳව ඌ යුක්තිය පිළිබඳ ක්‍රියාවලියක් සමාජයට අවශ්‍ය මිනිස්සු අස්සේ නළියන කැකෑරෙන වෛරය නැතිකරලා මිනිස්සු එකතු කරන්න පුලුවන් ඒකෙන් විතරක් වීම නිසයි. මේ ඇත්ත කියන එක මොකද්ද කියන දේ සොයාගත්තොත් පමණයි ඒ දේ කරන්න පුලුවන් වෙන්නේ.

දැන් ජවිපේ විරෝධීන් පිළිගන්න සත්‍ය තමයි විජේ කුමාරතුංග මැරුවේ ජවිපේ කියන එක. පළාත් සභාව ගැන විජේ දරපු අදහස් වගේම විජේට උතුර එක්ක තිබුණ බැඳීම මේ ඝාතනය පිටුපස තිබෙන හේතුව කියලා තමයි ජවිපේ විරෝධීන් පිළිගන්න සත්‍යය. ඇත්තටම මේක ලියන මම වුනත් පිළිගන්නේ මේ මතය.

එජාප සහ ප්‍රේමදාස විරෝධීන්ට තියෙන්නේ විජේ මැරුවේ ප්‍රේමදාස ආණ්ඩුව කියන එක. ජවිපෙට සහ ජවිපේ හිතවාදීන්ට එහෙම මතයක් තිබුණත් ඒ මතය සාධනය කරන්න පුලුවන් හේතුත් නෑ. ඒක උත්තර විදිහට ‘වි’ යන්නෙන් පටන් ගන්න නම් තියෙන නායකයෙක් තමයි මීළඟට රටේ නායකයා වෙන්නේ කියලා ප්‍රේමදාසට කවුදෝ සාස්තරකාරයෙක් කීවා ඒ නිසා විජේලා ඝාතනය කළා කියන දේ තමයි විහිළු කතාවක් වගේ තිබෙන්නේ.

කොහොම වුණත් මේ සත්‍යන් දෙකම මිනිස්සු අද එකවගේ පිළිගන්නවා. ඒ නිසාම මිනිස්සු දෙකොට්ටාසයක් බෙදිලා දෙපැත්තට වෛර කරගන්නවා. මේ ගැටලුවට තිබෙන හොඳම පිළිතුර තමයි මේ ඝාතනයේ ඇත්ත සොයාගන්න එක. විජේ කුමාරතුංගට යුක්තිය ඉටුකරන එක. ඒ ක්‍රියාවලියෙන් තොරව සංහිඳියාවට කිසිඳු ඉඩක් නෑ.

1988/89 ඝාතන ගැනත් කියන්න තියෙන්නේ මේ කතාවම තමයි. මේ ඝාතන කලේ කවුද? ඇයි කළේ? කියන දේ නොසොයා මේ සමාජය නිවන්න කවදාවත් බැහැ.  අපිට දැන් අවශ්‍ය වෙන්නේ සාමූහික නිවීමක්. ඒකට යුක්තිය මුල් කරගත්ත වගවීම් ක්‍රියාවලියක් අවශ්‍යයි. සමාව දීම සඳහා සමාව පිළිගැනීම සඳහා යුක්තිය සත්‍ය පිළිබඳ ක්‍රියාවලියක් අවශ්‍යයි. මේ සටහන අපිට කියන කතාව ඒකයි..

Social Sharing
නවතම විශේෂාංග