කොළඹ ආරක්ෂාවට පොලිසියෙන් 3500 ක්

ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර මැයි දිනය හෙටට (01) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් සිය මැයි රැළි පැවැත්වීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්.

එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.

ඒ සඳහා පක්ෂයේ ඉදිරි පෙළ නායකයින් රැසක් එක්වීමට නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභියෝග බිඳ අභිලාෂය ජයගනිමු තේමාවෙන් මෙවර මැයි දින රැලිය පවත්වන්නේ බොරැල්ල කැම්බල් පිටියේදියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර මැයි දින රැලිය මහනුවර පොදු වෙළඳපොල ඉදිරිපිටදී පැවැත්වීමටයි සැළසුම් කර ඇත්තේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය පැවැත්වෙන්නේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීයි.

මේ අතර හෙට(01) දිනයේ දී පැවැත්වීමට නියමිත මැයි දින රැළි වෙනුවෙන් පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ප්‍රකාශකළේ කොළඹ,නුගේගොඩ, හැටන් සහ මහනුවර යන ප්‍රදේශවල මෙම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඉහත ප්‍රදේශවල රථවාහන ගමනාගමනය මෙන්ම ආරක්ෂාව සඳහාද වැඩි අවධානයක් සහ විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම කොළඹ නහරයේ පැවැත්වෙන මැයි රැළි සහ පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3500ක් රාජකාරියෙහි යොදවා ඇති බවත් ඔහු පැවසුවා.

Social Sharing
නවතම