ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි ද මේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් 43 සේනාංකය පසුගිය 28 දා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“උදාහරණයක් හැටියට මහ බැංකුව ස්වාධීන කිරීමේ අණ පනත්, ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදි කරනය පිළිබඳ අණ පනත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩිකර ගැනීම පිළිබඳ අණපනත් ආදී වශයෙන් විවිධ අණපනත් ගේන්න වෙනවා. ඒ නිසා මේක බලාත්මක නැහැ. යම් බලාත්මක භාවයක් ගෙන එන්න නම් විපක්ෂයත් එක්ක එකතුවෙලා ව්‍යවස්ථාවේ 157 වෙනි වගන්තියේ රාජ්‍යයන් දෙකක් අතර ඇතිකරගන්නා අන්තර්ජාතික ගිවිසුම් මෙවැනි ආයතනවලටත් ගැලපෙන පරිද්දෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ගෙනාවනම් මේකට බලාත්මක භාවයක් ලැබෙනවා. ගිවිසුම ක්‍රියාත්මක කළාට පසුව (රටේ ආර්ථික ස්ථායිකරණය ඇති කළාට පසුව) මේ අර්බුදය නිසා රට බංකොලොත් කිරීම නිසා ඇතිවෙලා තිබෙන ව්‍යසනයේ තරම ගැන පැහැදිලි නිශ්චිත ගණනයක් අපි ඊයේ පාර්ලිමේන්තුවට සභාගත කළා.

2019 රට රකින විරුවා බලයට පත් වෙන්න පෙර දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 89 යි. 2020 වෙනකොට මේක 85 ට වැට්ටුවා. 2022 වෙනකොට මේක 75 ට වැට්ටුවා. ගෝඨාභය නන්දසේන රාජපක්ෂ බලයට පත්වෙච්ච වෙලාවේ ඔහුව බලයට ගෙන ඒම සඳහා රට පුරා ම ව්‍යාජ නාටක රඟ දක්වපු අය කිව්වා ගෝඨා දශකය ආරම්භ වුණා කියලා. 2020 සිට 2030 දක්වා කාලය ගත් කල ගෝඨාභය නොසිටියා නම් රටේ දළ දේශීය නිෂ්පාදනය වෙන්න ඕනේ ඩොලර් බිලියන 123 යි. වෙනත් ඕනෑම පාලකයෙක් හිටියා නම් මේ සීයට 3% වර්ධනය ළඟා කරගත හැකියි. නමුත් මොහු බලයට ගෙන ඒමේ විපාකය කොච්චරද? මොහු බලයට ගෙන ඒමේ විපාකය තමයි මේ 2020-2030 කියන මේ දුර්භාග්‍ය සම්පන්න දශකය, අඳුරු දශකය, කාලකන්නි දශකය නිසා රටට අහිමි වෙලත් අපේ මුළු ණය ප්‍රමාණය බිලියන 46 යි. ඒ වගේ පස් ගුණයක් රටට නැති කරලා තියෙනවා. 2019 මුග්ධ පාලකයෙක් බලයට ගෙන ඒමේ ව්‍යායාමය නිසා. අහන්න තියෙන්නේ කවුද මේවට වග කියන්නේ කියන එකයි. කතා පවත්වන්න කලින් ඒ ගැන ක්‍රියා කරපු අය දැන් මහා ඒවට විරුද්ධව කතා කරන අයගෙන් අපිට අහන්න තියෙන්නේ කවුද මේවට වග කියන්නේ කියන එක. ඒක පුද්ගල ආදායම හැටියට රට රකින විරුවා කියන ව්‍යාජය 2019 බලයට නොගෙනවා නම් 2030 වෙනකොට මේ රටේ ඒක පුද්ගල ආදායම වෙනත් ඕනම කෙනෙක් රට පාලනය කළා නම් අඩුම තරමින් ඩොලර් 5434 යි. 3% වර්ධනය ගත්තනම්. නමුත් මේ සාපලත් ඡන්දය නිසා 2019 නොවැම්බර් මාසේ කීයද? ඒක පුද්ගල ආදායම වැටෙනවා 4344 ට. ඒක ලබාගන්නත් මූල්‍ය අරමුදලේ සියලුම දෑ ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ එක පුද්ගලයෙකුට උපනූපන් සෑම පුද්ගලයෙකුටම මේ රටේ අහිමි කරපු ධනය ඩොලර් 1090 යි. රු.330 යි කියලා හිතුවොත් අපි ඩොලරය රු.359,000 ක් තුන්ලක්ෂ පනස් නමදාහක් සෑම පුරවැසියෙකුටම අහිමි වෙනවා.

මූල්‍ය අරමුදල විසින් කියලා තියෙනවා දුගී ජනතාවට දෙන දීමනා තුන් ගුණයකින් වැඩි කරන්න කියලා. රජය ඒ පිළිබඳව කටයුතු කළ යුතුයි. කරගෙන යන බව කියනවා. අපි ඒ ගැන සතුටුයි. මොකද මේ ආර්ථික අගාධයට අර මුග්ධ තීරණය නිසා, ඒ මුග්ධ රැවටීම නිසා පත්වෙච්ච ජනතාවට ඒ සහනය ලැබිය යුතුයි. ඒ වගේම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා, තවත් කරුණු ගණනාවක් රාජ්‍ය අංශය ගැන, රටේ ආර්ථිකයේ ශේෂ පත්‍රය සකස් කිරීම ගැන, ඒවා අපි අනිවාර්යයෙන්ම මේ අර්බුදය පාවිච්චි කරගත යුතුයි. රට නැවත ගොඩනැගෙන තැනකට යන්න. IMF එක යෝජනා කළත්, නොකලත් මේ රටේ අයවැය පරතරය පියවා ගැනීම, ආදායම් වැඩිකර ගැනීම වියදම් යම් බුද්ධිමය ආකාරයකට සකස් කිරීම ආදී යෝජනා ක්‍රියාත්මක කළ යුතුමයි. IMF ලියවිල්ලේ තියෙන ඇතැම් දේවල් රජය බොහොම පහසුවෙන් මගහැර ගිහින් තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය අංශයට සම්බන්ධව වැදගත් කරුණු තුනක් කියලා තියෙනවා. එකක් රටේ තියෙන ලංකා විදුලිබල මණ්ඩලයේ තෙල් සංස්ථාව, බැංකු පද්ධතිය ඇතුළු ඒ ගණයේ රාජ්‍ය ආයතන පනස් දෙකට පුද්ගලයින් පත් කිරීමේදී සභාපතිකම්, අධ්‍යක්ෂ මණ්ඩලවලට වෘත්තීය නිපුණතාවය මත පදනම් වූ ක්‍රියාදාමයක් හඳුන්වා දෙන්න කියලා. අද මේ වෙනකම් ඒක කරලා නැහැ. දේශපාලන පත්වීම් තියාගෙන මේක කරන්න බැහැ. ඒක හංගලා යන්න බැහැ.

IMF ලියවිල්ලේ තෙල් ගල් අඟුරු ඖෂධ පොහොර ගෙන්වීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී බරපතල අක්‍රමිකතා සිදු වූ බව විගණකාධිපතිවරයා වාර්තා කරලා තියෙනවා. රටම දන්නවා ඒක ගැන. අපි ගෙවන්නේ දූෂණයේ වන්දිය. අතීත දූෂණයේ වන්දියක් ගෙවනවා. දැන් වර්තමානයේ සිදුවන දූෂණයේ වන්දියත් ගෙවනවා. ඒ නිසා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් විවෘතව සැම කෙනාට ම දැනගත හැකි පරිදි සිදු කරන්න කියලා IMF ලියවිල්ලේ තියෙනවා. අපිට දැනගන්න ඕනේ, අන්තර්ජාතික වෙළඳපොලේ ඩීසල් ලීටරයක් කීයද? ලංකාවේ ඩීසල් ලීටරයක් කීයද? වෙනසක් තියෙනවා නම් ඒ වෙනස ඇතිවුණේ කොහොමද? අන්තර්ජාතික වෙළඳපොලේ ගල් අඟුරු කිලෝවක් කීයද? ලංකාවේ ගල් අඟුරු කිලෝවක් කීයද? වෙනසක් තියෙනවා නම් ඒක කොහොමද ඇතිවුණේ? අන්තර්ජාතික වෙළඳපොලේ, යූරියා කිලෝවක් කීයද? ලංකාවේ කීයද? වෙනසක් තියෙනවා නම් ඒක කොහොමද වුණේ? අන්තර්ජාතික වෙළඳපොළේ අසුවල් ඖෂධය කීයද? ලංකාවේ කීයද? වෙනසක් තියෙනවා නම් මොකක්ද වුණේ? මේක දැනගැනීමේ අයිතිය දැන් මේ රටේ ජනතාවට ඕනේ. අද මේ වෙනකම් ආණ්ඩුව මේක ක්‍රියාත්මක කරලා නෑ.

ඊළඟට මේ ආයතන 52 සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ වාර්තා මාර්තු 31 ලබා දෙන්න කියලා තියෙනවා. දැන් මාර්තු 31 පහු වුණා. තාම මේ පිළිබඳ වාර්තා ලබා දීලා නැහැ. සමහර ඒවා 2019 ඉඳන් ලබාදීලා නැහැ. ඒ නිසා ලියවිල්ලේ තියෙන සමහර දේවල් බොහොම පහසුවෙන් මගහැර ගිහින් තියෙනවා. ඊළඟට මේ IMF ලියවිල්ලේ කිසිම තැනක නොකියවපු දේවල් ටිකක් ක්‍රියාත්මක කරගෙන යනවා. උදාහරණයක් හැටියට, ප්‍රධාන රාජ්‍ය ආයතන හතරක්, ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය ජූනි මාසේ වෙනකොට ශේෂ පත්‍රය විධිමත් කරන්න කියලා තියෙනවා.

අනික් අයගේ සහය ඉල්ලනවා නම් විධිමත් ආකාරයේ කැබිනට් මණ්ඩලයක්, ආයතන පනස් දෙකට වෘත්තීය මට්ටමේ නායකත්වයක්, කාටත් එකඟ වෙන්න පුළුවන් දේශපාලන ලියවිල්ලක් මත පදනම් වෙලා යන්න, නැත්නම් තමන්ට හිතුනු හැටියේ කටයුතු කිරීමෙන් විශ්වාසය ඇති කරගන්න බැහැ.

මූල්‍ය අරමුදලේ ණය පොළිය නම් ඉතා අධිකයි. 8% යි. අපි මේ ණය නොගෙවා හිටියොත් අවුරුදු අටකින්. ඒ කියන්නේ 2030 දී ඒ ණයත් ඩබල් වෙනවා.
දැන් ලංකාවේ ස්වෛරීභාවය ගැන අපට තීරණ තීන්දු ගැනීමට බැරි වීම ගැන නහයෙන් අඬලා වැඩක් නැහැ. 2019 තක්කඩි තීරණයකට හවුල් වෙලා ව්‍යසනය ඇති කරගෙන තියෙනවා. අර හිඟන්නන්ට උණු බත් වගේ අපටත් දැන් අවස්ථා අහිමි කරලා තියෙනවා. රටක ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැම්මේ අද නෙවෙයි. 2022 අප්‍රේල් 12. ඒ සාහසික අපරාධයේ හවුල්කරුවන්ට දැන් ඇවිල්ලා එළියේ කතා කරන්න බෑ.

IMF නැතුව පුළුවන්ද කියන අයට අපි කියන්නේ ඔව් පුළුවන්. ඒකට රටට අවශ්‍යයි ආර්ථික කළමනාකරණය පිළිබඳ නිර්භීත නායකත්වයක් ඔය ව්‍යාජ මහතීර් මොහොමඩ්ලා නෙවෙයි කයියනායක මහතීර් මොහොමඩ්ලා නෙවෙයි. රටට ආර්ථිකමය ප්‍රතිලාභ ලබාදීපු අත්දැකීම් බහුල විශ්වාසනීය පිරිසකට රට එහෙමත් ගොඩනගන්න පුළුවන්. පුද්ගලයෙක් වුණත්, බංකොලොත් වුණාට පස්සේ, බැංකුවත් එක්ක කතා කරලා, ණය යනවා. ඒ වගේ ඒ රටට හයිය තිබිය යුතුයි මේ කටයුත්ත කරන්න. ඉතින් ඒ නිසා මේ විකල්ප තුනෙන් අද ආණ්ඩුව තෝරගෙන තියෙන්නේ IMF මග. ඒ මග තුල යම්කිසි ආකාරයකට ස්ථාවරත්වයක් ළඟා වෙලා තියෙනවා. හැබැයි මතක තියා ගන්න ඉදිරි කාලයේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් රජයට මුහුණ දෙන්න වෙනවා. එකක් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඇතැම් අපේ ණය හිමියන් කියනවා ලෝක බැංකුව ආසියා සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශවීය ණය කරුවන්ගේ ණයත් කපන්න ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ආණ්ඩුව ඒකට එකඟද? ආණ්ඩුව ඒකට එකඟ වුණේ නැත්නම් වෙන්නේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනන්තය දක්වා කල් යන එක. ඒක මතක තබා ගන්න.

දෙක දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවිධිමත්ව කළොත් ලෙබනන් වල වුණා වගේ බැංකු වටලෑම වෙනවා. ඒක නිසා ඒක විධිමත්ව කරන්න. ඒ දැවැන්ත අභියෝග දෙක රට තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වගකීමෙන් ක්‍රියා කරන්න. වගවීමෙන් ක්‍රියා කරන්න. අවරගණයේ දේශපාලන පලිගැනීම් දේශපාලන කයිවාරු ගහන්නේ නැතුව, සාමූහික උත්සාහයකට දැන්වත් උත්සාහ කරන්න. මේ ලියවිල්ලේ ඉතා වැදගත් කරුණු විශාල ප්‍රමාණයක් තිබුනට, මේ ලියවිල්ල නීතිමය වශයෙන් කිසිම බැඳීමක් තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුව මේ ලියවිල්ල පදනම් කරගෙන ඉදිරි කාලයේ ඉදිරිපත් කරන අණපනත්වල සුබවාදී, අසුභවාදී පැත්ත ගැන අපි බලලා අපේ ඡන්දය පාවිච්චි කරනවා. නමුත් රජය පිළිබඳ විශ්වාසනීයත්වයක් දැනට නැති නිසා ඒ වගේම මේවා ක්‍රියාත්මක කිරීමේ කාරණා නැති නිසා අපි මේ ඡන්දයෙන් වැළකී සිටින්නට පාර්ලිමේන්තුවේ තීරණය කළා.

 

Social Sharing
ආර්ථික නවතම