පර්ල් නඩු ප්‍රමාදයට හේතුව කොමිස් කුට්ටියද?

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට සිදු වූ දැවැන්ත විනාශයට අදාළ නඩුව අද (24) සිංගප්පූරුවේදී පවරන බව නීතිපති සංජය රාජරත්නම් පැවසුවද, එය එසේ සිදු වීම සැකසහිත බව thetime.lk කළ සොයාබැලීමකදී අනාවරණය විය.

නීතිපති සංජය රාජරත්නම් සඳහන් කළේ බොහෝ විට හෙට දිනයේදී අදාළ නඩුව පැවරෙනු ඇති බවයි. එහෙත් සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සභාපති අසේල බී. රැකව සඳහන් කරන්නේ සිය අධිකාරිය මගින් මේ පිළිබඳව සකස් කළ අවසන් වාර්තාව ලබන සතියේ නීතිපති දෙපාර්තමේන්තුව වෙත බාරදෙන බවයි.

මෙම පරස්පරය සම්බන්ධයෙන් විමසීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පැවසුවේ අවසන් වාර්තාව නොමැතිව වුවද, නඩුව පැවරීමේ හැකියාවක් පවතින බවයි. එහෙත් එවැනි අවස්ථාවකදී නඩුවේ දෝෂ මතුවිය හැකි බව ද, රටින් පිටතදී පවරන නඩුවකදී එය අවාසි සහගත ලෙස බලපෑමේ ඉඩක් ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වාර්තා ගැටලුව

පසුගිය ජනවාරි මාසයේ එම අධිකාරිය මගින් මීට අදාළ වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත බාරදෙන ලදි. එහෙත් එම වාර්තාව අධ්‍යයනය කිරීම නීතිපති දෙපාර්තමේන්තුව මගින් පසුගිය මාර්තු අවසානය වනතුරුත් සිදු කර තිබුණේ නැත.

ඉන්පසු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත දැනුම් දී තිබුණේ අදාළ වාර්තාවේ අඩුපාඩු ඇති බවත්, ඒවා සකස් කර අවසාන වාර්තාවක් ලබාදෙන තුරු නීතිමය කටයුතු ආරම්භ කළ නොහැකි බවත් ය. එසේ දැනුම්දීමෙන් පසු සකස් කළ අවසන් වාර්තාව ය, ලබන සතියේ නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිතව ඇත්තේ.

දිනයක් නෑ !

මේ සම්බන්ධයෙන් විමසීමේදී නීතිපති දෙපාර්තමේන්තුව බාර අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂගේ පාර්ශ්වයෙන් සඳහන් කළේ එක්ස්ප්‍රස් පර්ල් නඩුව ඊට අදාළ කාලය ඉක්මවා යෑමට පෙර විධිමත්ව පවරන බවත්, එම කටයුතු මන්දගාමී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ය. මීට අදාළ විශේෂඥ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණද, එය තමන්ට ලැබුණේ මේ වසරේ ජනවාරි මාසයේ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

සීඅයිඩි විමර්ශනයක්

මෙම නඩුව පැවරීම සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමක් පිළිබඳව අධිකරණ ඇමතිවරයා විසින් දිගින්-දිගටම චෝදනා කර තිබිණි. ඒ පිළිබඳව අප කළ විමසීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ඒ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා විසින් සිය දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවයි.

ලංකාවේ නීති ප්‍රමාණවත්

කෙසේ වෙතත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මාධ්‍ය වෙත පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් ලංකාවේ නඩු පැවරීම සිදු කළ යුතු බවයි. ඊට ප්‍රමාණවත් නීති මෙරට තිබෙන බව ද නීතිඥවරිය සඳහන් කර තිබිණි.

පාර්ලිමේන්තුවේ ස්ථාපිත පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ද මෙම විනාශය සම්බන්ධයෙන් නඩු පැවරීම පිළිබඳව දිගටම සාකච්ඡා කර තිබිණි. එහිදී මීට අදාළ විශේෂඥයන්, පරිසරවේදීන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් මෙන්ම කාරක සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද බහුතරයක් එකඟ වී තිබුණේ මේ සම්බන්ධයෙන් වන නඩුව ලංකාවේ පවත්වාගෙන යෑමට ය.

සිංගප්පූරුවට ම යන්නේ ඇයි ?

ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එම කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා අදාළ කරුණ තහවුරු කළේය. ඔහු පැවසුවේ සිංගප්පූරුවේ නඩු පැවරීම අවාසි සහගත විය හැකි බවට පිළිගත හැකි කරුණු රැසක් ද ඉදිරිපත් වූ බවයි. මෙම නඩුව සිංගප්පූරුවේ පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.5ක මුදලක් අවශ්‍ය වන බවට තක්සේරු කර ඇතැයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එම මුදල සිංගප්පූරුවේ මූල්‍ය ආයතනයකින් ණයක් ලෙස ලබාගැනීමට තීරණය කර ඇතැයි ද සඳහන් කළේය.

එංගලන්තයේ අධිකරණයක් මගින් ලබාදුන් නඩු තීන්දුවකට අනුව මෙවැනි නෞකා අනතුරු සම්බන්ධයෙන් වන්දි ලබාගැනීමේ සීමාවක් ඇති බවත්, එය සිංගප්පූරුවට ද අදාළ වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. එහෙත් එය ශ්‍රී ලංකාවට අදාළ නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය. මේ නිසා ඩොලර් බිලියන ගණනක වන්දියක් පිළිබඳව අප බලාපොරොත්තුවෙන් සිටියද, අධිකරණ ඇමතිවරයා ඇතුළු ආණ්ඩුවේ ක්‍රියාවලිය නිසා සීමාසහිත වන්දි මුදලකින් සෑහීමකට පත්වීමට සිදුවනු ඇතැයි ද අප සමග අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

ඕස්ට්‍රේලියානු උපදෙස්

මේ අතර අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීමෙන් පසු, ඊට අදාළ වාර්තා සකස් කළ විශේෂඥයන් 40කගේ කණ්ඩායම සමග එහි නීතිඥවරුන් සම්බන්ධ කරගැනීම වැනි ප්‍රයෝගික දුෂ්කරතා මතුවනු ඇතැයි ද නීතිවේදීන් පෙන්වා දී තිබිණි. මේ සඳහා නීති උපදේශක කාර්යය සිදුකරන ඕස්ට්‍රේලියා නීති විශේෂඥයන්ට ලංකාවට එම උපදෙස් ලබාදීමට නොහැකි වීමත්, සිංගප්පූරුවට එම උපදෙස් ලබාදීමට හැකිවීමත් පිටුපස ද වෙනත් කතාවක් තිබිය හැකි යැයි ද ඔවුහු සැක මතු කරති.

මේ සම්බන්ධයෙන් thetime.lk මීට පෙර ද අවධාරණය කරන ලද්දේ නිව් ඩයමන්ඩ් නෞකාවට අදාළ නඩුවේදී මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ නඩුව පැවරීම ද දිගින්-දිගටම ප්‍රමාද කොට නැව් සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක වාසියක් අත්කරදීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින්නේ යැයි සැක මතු වන බවයි.

නඩුව ?

නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පෙන්වා දෙන්නේ මෙම නඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිමත් සමුද්‍රීය නීති පද්ධතියක් ලංකාවේ පවතින බවයි. නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙවැනි කටයුතු මගින් මැයි 19 දින වන විට මෙම නඩුව පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව අපොහොසත් වුවහොත්, ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න වන්දි මුදලක් රටට අහිමි විය හැකි බවයි. එනම් මෙරට නීතියට අනුව මෙවැනි වන්දි නඩුවක් වසර 2ක් තුළ පැවරිය යුතුය. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ විනාශයට අදාළ වන්දි ලබාගැනීමට නඩු පැවරීමේ වසර 2ක කාලය ලබන මැයි 19දා අවසන් වේ.

නීතිපති දෙපාර්තමේන්තුව ?

විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් අප මීට පෙර ද අනාවරණය කළේ මෙම නඩුවට අදාළ පූර්ව වන්දි ඇස්තමේන්තුව පවා නීතිපති දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් අප්‍රේල් දෙවැනි සතිය වනවිටත් සකස් කර නොතිබූ බවයි.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාපිත පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම වාර්තාව සහ ඊට අදාළ වැදගත් ලේඛන නඩුව පැවරීමටත් පෙර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අයත් නැව් සමාගමේ නියෝජිතයන්ට ලබාදීමේ උත්සාහයක් සම්බන්ධයෙන් ද අනාවරණය විය. කෙසේ වෙතත් ඊට එල්ල වූ දැඩි විරෝධය නිසා එය තාවකාලිකව නතර විය.

එක්ස්ප්‍රස් පර්ල් !

2021 මැයි 19දා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයට පැමිණියේය. එය මැයි 25 දින පුපුරා ගියේය. ජුනි 02 දින කොළඹ වරායෙන් නාවික සැතපුම් 9ක් දුරට නැව ඇදගෙන යනු ලැබිණි. එක්ස්ප්‍රස් ෆීඩර්ස් (X-Press Feeders) නම් සිංගප්පුරු සමාගමකට අයත් මෙම නැව මගින් ශ්‍රී ලංකා මුහුදේ සිදු වූ අනතුර, ලෝකයේ විශාලතම රසායනික නෞකා අනතුර ලෙස හැඳින්වේ.

විනාශයේ තරම

මෙම බරපතළ අනතුර පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කළ පරිසර යුක්ති කේන්ද්‍රය නෞකාවේ තිබූ අන්තර්ගතය පිළිබඳ මෙසේ සඳහන් කරයි.

‘එම නෞකාවේ තිබූ බහාලුම් 1,486ක් අතරින් 81ක පරිසරයට ඉතා අහිතකර සහ අන්තරායකාරී රසායනික ද්‍රව්‍ය තිබූ අතර, බහාලුම් 349ක තිබූ මෙට්‍රික් ටොන් 9,700ක් වූ epoxy resin ද, මෙට්‍රික් ටොන් 6,700ක විවිධ වර්ගවල ප්ලාස්ටික් පබළු හා නයිට්‍රික් අම්ලය මෙට්‍රික් ටොන් 25ක්, ලිතියම් බැටරි, ඊයම්, මොලිබ්ඩික් අම්ලය ඇතුළුව පරිසරයට හානි කළ හැකි බොහෝ ද්‍රව්‍ය දින කිහිපයක් තිස්සේ ගිනිගනිමින්, විශේෂයෙන් ම මීගමුව අවට මුහුදු තීරයේත්, ලංකාව වටා කිලෝමීටර් 750ක මුහුදු ප්‍රදෙශයකත්, ඉන්දියන් සාගරයේ පිහිටා ඇති වෙනත් රාජ්‍යයන් ද මුහුදු හා වෙරළ සම්පත් ද, අප්‍රිකාවේ සෝමාලියාව දක්වා ද සමුද්‍ර දූෂණය සිදුකරන ලදි.

එමගින් ඇසට දකින්නට ලැබුණු බහාලුම් කිහිපයක් සහ සරක්කුව අවට මුහුදු තීරය ප්ලාස්ටික් පබළුවලින් වැසී යන සේ දූෂණය වුවත්, නැව නිසා සිදු වූ මුළු දූෂණයෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් මුහුදු ජලයේ සඟවාගෙන තිබිණි. මෙට්‍රික් ටොන් 80,000කට ආසන්න භාණ්ඩවලින් නැවත එකතු කරගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 1,762ක් පමණි.’

වගකීම

මේ නිසා 2021 ජුනි 30 වන විට තල්මසුන් අටදෙනෙක්, කැස්බෑවුන් 417ක්, ඩොල්පින් මසුන් 48ක් සහ සමුද්‍ර ජීවින් විශාල සංඛ්‍යාවක් මරණයට පත්වී තිබිණි. පරිසර යුක්ති කේන්ද්‍රය පෙන්වා දෙන්නේ මෙම මරණ පිළිබඳව කිසිදු මරණ පරීක්ෂණයක් මෙතෙක් සිදුව නැති බවත්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය සත්‍ය තොරතුරු සඟවන බවත් ය.

නිව් ඩයමන්ඩ් !

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ සංගමන්කන්ද තුඩුවට ඔබ්බෙන් මුහුදේ දී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හටගත්තේ 2020 සැප්තැම්බර් 03දා ය. ග්‍රීක සමාගමකට අයත් මේ නැව, දිගින් මීටර් 330ක් වූ අතර, ඒ තුළ බොරතෙල් ටොන් 2,70,000ක් ක්වේට් සිට ඉන්දියාව වෙත ගෙනයමින් තිබිණි. එහි ගින්න සැප්තැම්බර් 03දා නැවේ යන්ත්‍රාගාරය තුළ හටගත් අතර, එය මුළුමනින්ම නිවා දමන්නට හැකිවූයේ සැප්තැම්බර් 11දා ය.

සිද්ධිය නිසා තෙල් කාන්දුවීමක් සිදුවූ අතර, එය, නැවේ යන්ත්‍ර ක්‍රියා කරවීම සඳහා තිබූ තෙල් මිස ගබඩා ටැංකි තුළ තිබූ තෙල් නොවන බව ප්‍රකාශ විය. ඉන්පසුව මෙම නැව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවෙන් ඔබ්බට ඇදගෙන යන ලද අතර, පසුව එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන ගොස් තෙල් තොගය ගොඩබා තිබේ.
එසේම මෙම ගින්න නිවීම වෙනුවෙන් වැයවූ මුදල ලෙස ප්‍රකාශිත රුපියල් මිලියන 441, එම නැව අයත් සමාගම මගින් ගෙවන ලදි.

නීතිය

මේ සඳහා බලපවත්නා නීතිය වන්නේ 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනත ය.
මේ පනත යටතේ මෙවැනි අවස්ථාවක අදාළ සමාගමට එරෙහිව අපරාධ නඩුවක් මෙන්ම සිවිල් නඩුවක් ද පැවරිය හැකි වේ. මේ පිළිබඳව අපරාධ නඩු පැවරීම කළ හැක්කේ පනතේ 26 වන වගන්තිය යටතේ ය. එසේම සිවිල් නඩුවක් පැවරීමට අදාළ ප්‍රතිපාදන පනතේ 34 වන වගන්‍තියේ දක්වා තිබේ.

මේ නැව් අනතුර වලක්වා ගැනීමට නිසි පරිදි කටයුතු නොකිරීම යන කරුණ පාදක කර ගනිමින් නැවේ කපිතාන්වරයාට එරෙහිව අපරාධ නඩුවක් පවරන ලදි. ඔහු ඊට වරද පිළිගත් අතර, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 12ක දඩයක් නියම කෙරිණි. ඔහු එය ගෙවා තිබිණි.

මිලියන 3,480 ?

නමුත් පරිසර හානියට අදාළ ව තක්සේරු කෙරුණු රුපියල් මිලියන 3,480ක මුදල නැව් සමාගමෙන් ගෙව්වේ නැත. පනතේ 34 වන වගන්තිය යටතේ පවරනු ලබන සිවිල් නඩුවක් හරහා ශ්‍රී ලංකාව මෙම මුදල අයකර ගත යුතුය. නඩුව පැවරිය යුතු බලධාරියා නීතිපති දෙපාර්තමේන්තුවයි. එම නඩුව පැවරීම ප්‍රමාද කරමින් සිට, කෙසේ හෝ නියමිත කාලය අවසාන වන දින නඩුව පැවරිණි.

නීතිපති ම තමයි !

රාජ්‍ය පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (COPE), 2022 මාර්තු මාසයේ අනාවරණය වූයේ අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා තිබෙන බවයි. සමුද්‍ර දූෂණ වැලැක්වීමේ පනතේ කටයුතු සිදුකිරීමේ බලය සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියට (Marine Environment Protection Authority – MEPA) පැවරී තිබුණත්, නඩු පැවරීමේ බලය පනතේ 50 වගන්තියට අනුව පැවරී තිබෙන්නේ නීතිපතිවරයා වෙත ය.

එම නිසා නිව් ඩයමන්ඩ් මෙන්ම එක්ස්ප්‍රස් පර්ල් නඩුව ද ගොනුකිරීමේ අවසාන වගකීම නීත්‍යනුකුල ව පැවරී ඇත්තේ නීතිපතිවරයා වෙත ය.

උපුටාගැනීම – Thetimes.lk

Social Sharing
නවතම විශේෂාංග