දිළිඳු සහන 3ගුණයකින් වැඩි කරන්න – IMF

ශ්‍රී ලංකාවේ පහළ ම ආදායම් ලබන ජනයාට රජයෙන් ලැබෙන සහනාධාර මගින් ලැබෙන්නේ ඔවුන්ගේ පවුලේ වියදමින් සියයට 12 ක් පමණ බවත්, මෙය පහළ මැද ආදායම් ලබන රටවල සාමාන්‍යය වන සියයට 30 ට වඩා විශාල ලෙස අඩු බවත්, ඉදිරි කාලයේ මෙම සහන ඉහළ මට්ටමකින් පවත්වා ගත යුතු බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇතිකරගත් එකඟතාවයේ සඳහන් කොට ඇත.

එහි දැක්වෙන අන්දමට ශ්‍රි ලංකාවේ පහළ ම අදායම් ලබන පවුලක මාසික වියදම රුපියල් 19,246 ක් වන අතර එම කාණ්ඩයට රජයෙන් ලැබෙන දිළිඳු සහනයේ සාමාන්‍ය අගය පවුලකට රුපියල් 2,117 කි. එය පවුලේ වියදමින් සියයට 11 කට සමානය.

එමෙන් ම ලෝක බැංකු සමීක්ෂණයක් උපුටා දක්වමින් මුල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ දිළිඳු සහන ලැබෙන්නේ පහළ ම අදායම් ලබන සියයට විස්ස අතරින් සියයට 38 කට පමණක් බවයි. එය 2006 දී තිබු සියයට 50 මට්ටමේ සිට අඩුවී ඇති බව ද අරමුදල පෙන්වා දෙයි. එමෙන් ම, ඉහළ ම ආදායම් ලබන සියයට 20 අතරින් සියයට 12 කට ද සහනාධාර හිමිවෙයි.

එබැවින් මෙම විෂමතා නිවැරදි කිරීමෙන් සහ සහනාධාර වඩා ඉලක්කගත කිරීමෙන් දිළිඳු ම ජනයාට එම ප්‍රතිලාභ ලබා දිය යුතු බව පෙන්වා දෙන මුල්‍ය අරමුදල ආර්ථික අර්බුදය නිසා වැඩි වී ඇති දිළිඳු ජන සංඛ්‍යාව සැලකිල්ලට ගෙන එම පිරිසට ද සහන ලැබීම සහතික කළ යුතු බව ද , කියයි.

කොවිඩ් සහන නිසා 2021 වසරේත්, ආර්ථික අර්බුදයට සහන ලෙස පසුගිය 2022 සැප්තැම්බරයෙන් පසු ලබාදුන් සහනත් හේතුවෙන් එම වසර දෙකේ දිළිඳු සහන ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් පිළිවෙළින් සියයට 0.9 සහ සියයට 0.6 වශයෙන් සටහන් වුව ද , මෙරට දිළිඳු සහන පවතී ඇත්තේ සියයට 4 ක තරම් අඩු මට්ටමක ය. මෙම වසරේ සිට එය අඩුතරමින් සියයට 0.6 – 0.7 මට්ටමේ පවත්වා ගැනීමට ශ්‍රී ලංකා රජය මුල්‍ය අරමුදලට පොරොන්දු වී තිබේ.

මෙම සහන ලැබෙන සමාජ ලේකනයක් අලුතින් සකස් කෙරෙන අතර එහි දී පවුලක අධ්‍යාපනය, සෞඛ්‍යය, ආදායම ,දේපළ හිමිකම, නිවසේ තත්ත්වය වැනි නිර්නායක සැලකිල්ලට ගනු ලබයි. ඒ අනුව පවුල් ලක්ෂ 33 කට පමණ දිළිඳු සහන ලබාදීමට සිදුවනු ඇතැයි ගණන බලා තිබේ.

මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රතිසංවිධානය කොට ක්‍රියාත්මක කොට ඇත. අවශ්‍ය නීති සංශෝධන මැයි මාසය තුළ පාර්ලිමේන්තුවෙන් සම්මත වනු ඇතැයි ද ජුනි මස සිට නව දිළිඳු සහන බෙදා හැරීමට හැකිවනු ඇතැයි ද මුල්‍ය අරමුදල කියයි.

– යුක්තිය –

Social Sharing
නවතම පුවත්