LGBTIQ+ ප්‍රජාවට ඉඩ දෙන්න ලංකාවේ නීතිය සූදානම් ද?

ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ශ්‍රී ලංකාවේ LGBTIQ+ ප්‍රජාව වෙනුවෙන් දින දෙකක් තුළ වැඩිම නීතිඥයන් පිරිසක් එක්ව හඬ නැගු ඓතිහාසික දින දෙක.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාගය ඊයේ ( අප්‍රේල් 20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ කෙරුණි. ඒ පෙත්සමට විරෝධය දක්වමින් සංවිධාන රැසකගෙන් සහ ක්‍රියාකාරීන්ගෙන් අතුරු පෙත්සම් අධිකරණයට ගොනුකර ඇත. මමත් ඒ එක අතුරු පෙත්සමක පෙත්සම් කරුවෙක් ලෙස ඉදිරිපත් විය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

ඊයේ (20) ඒ පෙත්සමේ Hearing එක. උදේ 10.30 ට ආරම්භ වෙලා ඊයේට පමණක් අවසන් වුනේ 4ට. උදේ පනතට විරුද්ධව පෙත්සම දැමූ පාර්ශවයේ නීතීඥයන් කෙස් පැලෙන තර්ක ගේනකොට, මගෙ එහා පැත්තේ එතනම වාඩිවෙලා හිටිය Bhoomi Harendran ගෙයි Thushara Manoj ගෙයි පපුව ගැහෙන සද්දෙ ඇහෙන තරමින් තේරුම් ගන්න පුලුවන් කොච්චර අමානුෂික විදිහට විරුද්ධ පාර්ශවයේ පෙත්සම්කරුවන් අහිංසක මිනිස්සු පිරිසකගෙ අයිතිවාසිකම් යට ගහන්න ආගම සදාචාරය සංස්කෘතිය අවභාවිතා කරාද කියලා. සමරිසි වී ඉපදීම ඉඳන්ම ජීවත් වී මරණය දක්වාම මිනිසුන්ගේ අයිතිවාසිකම් කොච්චර හෑල්ලුවට ලක් වුනාද කියන එක හොඳටම දැකගන්න පුලුවන් වුනා ඒ තර්ක වලින්.

පනතට විරුද්ධව ඇති පෙත්සමේ මූලිකම කරුණු වුනේ ආගම සංස්කෘතිය සදාචාරය ළමා අයිතිවාසිකම් සහ තවත් නිර්වචනයන් නැති වචන වගේ දේවල්.
ඊට පස්සෙ අතුරු පෙත්සම් යොමු කළ අපිට අවස්ථාව ලැබුණා කරුණු දක්වන්න. පෙත්සමට විරුද්ධව අතුරු පෙත්සම් දැමූ පාර්ශවයන්ගේ නීතීඥවරුන් පුලුවන් උපරිමයෙන් බැට් කරා.

විරුද්ධ පෙත්සමේ සඳහන් කරුණු එකින් එක ගෙනහැර දක්වමින් ඒ පෙත්සම කොච්චර අමානුෂිකද කියන එක බලාගෙන හිටිය අපිටත් හැඟෙව්වා. HIV STI සම්ප්‍රේෂණය, ආගම, සංස්කෘතිය සදාචාරය ළමා අයිතිවාසිකම් වගේ දේවල් වලට විවිධ ලිංගික අනන්‍යතාවයන්ගේ අයිතිවාසිකම් ලබා දීමෙන් සහ 365 , 365අ වගන්ති ඉවත් කිරීමෙන් බලපෑමක් නැති බවත් නීතීඥවරුන් අවධාරණය කළා.

HIV STI සම්බන්ධව පෙත්සම්කරුවන්ගේ අදහස වූයේ රෝග සම්ප්‍රේෂණය වැඩි වීමයි. නමුත් ඒ වැඩිවන්නේ ඇයි? LGBTIQ ප්‍රජාවට සේවාවන් වලට ළඟා වීමට බැරි යල්පැනගිය නීති නිසාවෙන් බව නීතීඥවරුන් දක්ෂ ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට අවධාරණය කලේ හොඳම තර්ක ගෙනහැර දක්වමින්. එමෙන්ම මෙවැනි නීති සංශෝධනය විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ඉදිරි අවුරුදු 8 ක උපායමාර්ගික සැළැස්මේද ඇති බව ද ගරු විනිසුරුමඩුල්ල ඉදිරියේ ඔප්පු කළා.

අදත් පුලුවන් තරම් කරුණු දැක්වීම කළ හැකි වුනා. නීතීඥවරුන් ට අවශ්‍ය තොරතුරු, පර්‍යේෂණ දත්ත සියල්ලම අපිට හැකි අයුරින් සූදානම් කරගෙන අපිත් දවසම ගෙව්වේ මහ බරක් ඔලුවෙ තියාගෙන ඒ Arguments අහගෙන.

ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් , Press release of college of psychiatrist , National STD/AIDS Control Programme NSP,
මීට පෙර ලබා දී ඇති නඩු තීන්දු, අමා දිසානායක සිද්ධියේ රිට් ආඥාව, Indian judgement, FPA Sri Lanka ආයතනයේ අතුරු පෙත්සම වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරයාගේ තර්කය වෛද්‍ය කපිල රණසිංහ, වෛද්‍ය පබාසරී ගිනුගේ සහ අනෙක් අතුරුපෙත්සම් කරුවන්ගේ නීතීඥවරුන් ගොණු කළ කරුණු වගේ තව ගොඩක් දේවල් වැදගත් දේවල් ලෙස කැපී පෙනුනා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු දක්වමින් සමරිසි සහ සංක්‍රාන්ති සමාජභාවී ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් කටයුතු කර ඇති බව සඳහන් කළා.

පෙත්සමේ දෙවන වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා සහ මාහාචාර්ය සාවිත්‍රී ගුණසේකර, රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිසක් ගොනුකළ අතරමැදි පෙත්සමක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බව තර්ක කළේය. වැඩිහිටි සමලිංගිකයින් දෙදෙනෙකු අතර ඇතිවන සම්බන්ධයක් නීතිවිරෝධී බව ප්‍රකාශ කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය. මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය අනුව ලිංගිකත්වය මත පුද්ගලයන්ට වෙනස් කොට සැලකිය නොහැකි වන අතර ලිංගික සම්බන්ධතා මත පුද්ගලයන්ට වෙනස් කොට සැලකිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

තමන්ට අභිමත පාර්ශ්වයක් සමඟ ලිංගික සම්බන්ධතා පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන මගින් සහතික කර ඇති සීතීමේ නිදහස යන්නට අයත් කරුණක් වන බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද සමලිංගික අයිතිය තහවුරු කර ඇති අතර එංගලන්තය ඇතුළු විදේශ රටවල් කිහිපයක් ම ඒ සඳහා ඇති නීතිමය බාධාවන් ඉවත් කර ඇති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඇත්තටම පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණකින් මුළු ගරු අධිකරණයම අද අවසාන මොහොතේ හාස්‍යයෙන් පිරී ගියා. මෙහිදී විනිසුරු විජිත් මලල්ගොඩ මහතා කියා සිටියේ ලිංගික කටයුතු සම්බන්ධයෙන් අර්ථකථන දීමට අධිකරණයට නොහැකි බව. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද? නැද්ද? යන්න තීරණය කිරීම පමණක් අධිකරණයට කළහැකි බව විනිසුරුවරයා සඳහන් කළා.

මේ දින දෙකේ Hearing එකෙන් පසු ලබන සඳුදා දින ලිඛිත සාක්ෂි, ලිපිගොණු ලබා දෙන්න පුළුවන්. ඉන් පසු අපිට පුළුවන් ගරු අධිකරණයේ මතය බලන්න. මේ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත ව්‍යවස්තානුකූල ද ව්‍යවස්තාව උල්ලංඝනය වෙනවාද බලන්න. ඒ තීන්දුව ශ්‍රී ලංකා අයිතිවාසිකම් මාවතේ ඓතිහාසික තීන්දුවක් වේවි.

අතුරු පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි සියලුම නීතිඥවරුන්ට නීතිඥවරියන්ට අපගේ ස්තුතිය..!

උපුටාගැනීම – ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම