පුබුදුගේ තරඟය අද…!

-රංජන් පරණවිතාන-

පුබුදු දසනායක කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කඩුලු රකින්නා විය. ඉන්පසු ඔහු ක්‍රීඩා කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේම පුහුණුකරු ලෙස කටයුතු කරමින් තම පුහුණු දිවිය ඇරඹීය.
එම අවදියේම මා සෙබස්තියනයිට්ස් කණ්ඩායම පුහුණු කරන ලදී.

පසු කලෙක කැනඩා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරය සඳහා තෝරා ගනු ලැබූ පුබුදු පසුව කැනඩාවේම පදිංචි විය.

අනතුරුව පුබුදු නේපාල ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්ව කෙටි කලකින් නේපාල ජාතික කණ්ඩායම අයි.සී.සී. ශ්‍රේණි ගත කිරීම් වල පහළ සිට ඉහළට ගෙනවිත් නේපාලය ලෝක කුසලාන තරගාවලිය දක්වා රැගෙන ඒමට සමත් විය.

නේපාලයෙන් නික්ම ගිය පුබුදුගේ ප්‍රයෝජනය ඊළඟට ගත්තේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ගුවනින් යා යුතු ප්‍රාන්ත වලින් හෙබි අති විශාල රාජ්‍යයක පාපන්දු, බේස් බෝල්, බාස්කට් බෝල්, මලල ක්‍රීඩා වැනි ජනප්‍රිය ක්‍රීඩා රැසක් මධ්‍යයේ ජනප්‍රියත්වයක් හිමිව නොතිබුණු ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තිමය මට්ටමකට ගෙන ඒමට පමණක් නොව ලෝක කුසලාන තරගකාරී තත්ත්වයට ගෙන ඒමට පුබුදුට හැකි විය.

එම අවදියේ පළමු පෙළ අත්දැකීම් ලබා දීමට පුබුදු එවූ ඇමරිකානු ක්‍රීඩකයන් කිහිප දෙනකුම මා මෙහි ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කිරීමට අවස්ථාව සළසා දුනිමි.

ඉන් Fahad Babar හා Jessy Singh අදටත් ඇමරිකානු පිල නියෝජනය කරති.

ඉන්පසු පුබුදුගේ ප්‍රයෝජනය නැවතත් ගැනීමට කැනඩාවට අවශ්‍ය විය. ඒ කලක් වැටී තිබූ තම කණ්ඩායම යළි ගොඩ ගැනීමටය.

දැන් පුබුදු එම කර්තව්‍යයට උර දී ඊළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා කැනඩාව සුදුසුකම් ලබා ගැනීමේ අභියෝගය භාර ගෙන ඇත.

රටවල් තුනක ක්‍රිකට් තිබූ මට්ටමින් ඉහළට ඔසවා දී එම රටවල් තුනේම ගෞරවයට පාත්‍ර වූ හා රාජ්‍ය සම්මාන ලැබූ පුබුදු පසුගියදා ශ්‍රී ලංකාවට කැනඩා ක්‍රිකට් පිල රැගෙන ආවේය.

ඒ නැමීබියාවේ පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙර සූදානමක් ලෙසය.

ශ්‍රී ලංකාවේ පුහුණු තරග කිහිපයකට මුහුණ දුන් කැනඩා ක්‍රීඩකයෝ මෙහි සිට කෙළින්ම නැමීබියාවට ගිය අතර ප්‍රථම තරගයෙන් ජෙසි පිල පරාජය කළෝය. කැනඩා පිල නියෝජනය කරන ශ්‍රී ලාංකිකයකු වන Srimantha Wijeyeratne එම තරගයේ අර්ධ ශතකයක් රැස් කර ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.

අද ඔවුන්ගේ දෙවෙනි තරගයයි. තම අසල්වැසි
ඇමරිකාව සමග පැවැත්වෙන මෙම තරගය පුබුදුටද අමතක නොවන තරගයක් බවට පත්වනු නොඅනුමානය.

ඒ තමන් කළින් පුහුණු කළ කණ්ඩායම හා දැන් පුහුණුකරන කණ්ඩායම අතර තරගයේ ඔහු රැඳී සිටීම නිසාය.

වරක් ශ්‍රී ලංකාවේ අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස අයැදුම් කර තිබුණද ලංකාවට අගයක් නැති වූ Pubudu Dassanayake රටවල් තුනකම ප්‍රධාන පුහුණූකරු ලෙස තෝරාගනු ලබූ අතර එම රටවල් තුනම ක්‍රිකට් වලින් ඉහළට ගෙන ඒමට සමත් වීම විශේෂත්වයක් විය.

පුබුදු මගේ හිතවත් මිත්‍රයා ලංකාවට අහිමි වීම දුකක් වුවද මගේ තවත් මිත්‍රයකු වූ චන්දික හතුරුසිංහට මෙහිදී අත්වූ ඉරණම පුබුදුටද අත්වීමට ඇති ඉඩකඩ නිසා ඔහුගේ ප්‍රයෝජනය කැනේඩියානුවන් විසින් හෝ ගැනීම ගැන සතුටු වන්නෙමි.

ඇමරිකා -කැනඩා තරගයට සුබ පැතුම්
මිත්‍රයා…!

Social Sharing
අවකාශය නවතම