නොරොච්චෝලේ හදන්න චීනෙන් එනකන් ඉන්න වෙයිද?

කෙරවළපිටියේ ග්‍රීඩ් උපපොළේ සිදු වු බිඳ වැටීම නිසා එය සක්‍රීය කිරීමට ගිය කාලය වැඩි වීමෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනම අක්‍රීය වී විදුලි සැපයුම නතර වී දැන් දින තුනකි. දැන් මුලු රටේම වරින් වර විදුලිය විසන්ධි වන්නේය. කලීන් කීවේ දින තුන හතරකින් මෙය හරි යාවි කියාය. නමුත් දැන් පෙනේන්නට ඇති පරිදි මෙය දවසෙන් දෙකෙන් විසදෙන්නක් නොවන බව පැහැදිය. දැන් විදුලිය  විසන්ධි කරන වේලාවන් කලාප වලටද වෙන් කර ඇත්තේය.

ලංකා විදුලි පොදු සේවක සංගමය සඳහන් කරන පරිදි නොරොච්චෝලේ බලාගාරය ආරම්භ කර දැන් වසර 10 ක් පමණ ගත වේ. නමුත් එහි බරපතල විසන්ධි වීමකදී එය සැකසීමට තරම් ඉංජීනේරුවරුවන් මෙරට නොමැති බවත් ඊට චීනයේ සහාය ලබා ගත යුතු බවද ලංකා විදුලි බල පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

නොරොච්චෝලේ බලාගාරයේ තුලට පමණක් මෙගා වොට් 30 ක බලයක් අවශ්‍ය බවත් එයද නිශ්චිත කාලයකටය. පහුගිය 17 දා බිඳ වැටුණු විදුලිය බිඳ වැටීම බරපතල එකක්ද නැද්ද යන්න තවමත් රජය හෙළිදරව් කර නැති අතර ඔවුන් සියලු දෙනාම තවමත් උත්සහ ගනිමින් සිටින්නේ විදුලි බලය යථා තත්ත්වයට පත් කිරීමටය.

ලංකා විදුලි බල මණ්ඩලයේ මානව සම්පත් අංශය, ඉංජිනේරුවන්, සේවකයින් රැසක් සිටින අතර ඉංජිනේරුවන් විදේශගත වන්නේද මේ බලාගාර නඩත්තු කිරීම් සම්බන්ධ පුහුණුවීම් වලටය. දේශනා වලටය. නමුත් අවසානයේ වූ දෙයක් නැත. මුලු රටක්ම අඳුරේය.

මේ අතර ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ කැළණිතිස්ස බලාගාරයේද මෙගාවොට් 500 ක ධාරිතාවක් ඇති නමුත් එහි නිසි ලෙස අවධානයක් නොමැති හෙයින් මේ වන විට ඉන් පිටවන්නේ මෙගාවොට් 150 ක් පමණ බවය.

2016 සිදු වූ හදිසි විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් හා විදුලි බල ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා සහ එම ගැටලු නිරාකරණය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි බල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සුසිල් ප්‍රේම්ජයන්ත, පාඨලි චම්පික, සාගල රත්නායක, ඉරාන් වික්‍රමරත්න, අජිත්.පී.පෙරේරා හා චන්දිම වීරක්කොඩි යන අයගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදි.

එම වාර්තාවට අනුව සම්ප්‍රේෂණ පාලන පද්ධති මධ්‍යස්ථානය වසර 30 ක් පැරණි එකක් වන අතර තාක්ෂණය යල්පැන ගිය එකකි. පද්ධතියේ බිඳ වැටීම පාලනය කිරීම අපහසු වන අතර පද්ධතිය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමද ඉතා අපහසු බව එහි සඳහන් කර ඇත.

එම වාර්තාවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා බත්තරමුල්ල ප්‍රදේශයේ විශාල ධනස්කන්දයක් වියදම් කරමින් නව පාලන මධ්‍යස්ථානයක් 2018 වසරේදී ඉදි කෙරුණි. නමුත් එම නව පද්ධතිය නඩත්තු කරමින් පවත්වාගෙන යාමට අදාල බලධාරීන් කටයුතු කළ යුතුව ඇත.

මෙම විදුලිය බිඳ වැටීම සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක සිදු වු දෝෂයක් නිසා වුවක් බව සිතිය හැක. නමුත් එවැන් කුඩා බිඳ වැටීමකින් මුලු පද්ධතියටම බලපෑම් කරනු ලබන්නේ නම් මෙම නව ව්‍යාපෘතියේ ඇති වටිනාකම කුමක්ද යන්න විදුලි පොදු සේවක සංගමය ප්‍රශ්න කර සිටියි.

මේ නව ව්‍යාපෘතියේ පළමු බිඳ වැටීමය.

එමෙන්ම ඕනෑම දෙයක වාර්තාවක් කමිටු වලින් වහන බවත් ඉංජිනේරුවන් දමා හෝදා දමන බවත් එම සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.

-ශානිකා මාධවී-

Social Sharing
නවතම