හෙටක් වෙනුවෙන් කළ සියල්ලට ගෞරවය !

එස්. එන්. නිබෝජන් නම් මිත්‍රයා යන්න ගොස් ය. දෙහිවලදී සිදුවූ දුම්රිය අනතුරකින් පසු, ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවත්, ඔහු මියගිය බවත් දැනගත් විගස මට මතක් වුණේ වැඩකට උදව් කරන්නට ඔහුට තිබූ ඇම්ම ය.

දින 2,172ක් තිස්සේ එක්ව සිදුකරන අතුරුදන්වූවන්ගේ මව්වරුන්ගේ අරගලය වාර්තා කිරීමේදී ඔහු ලබාදුන් සහාය, ආරක්ෂක අංශ විසින් අත්පත් කරගෙන සිටින ජනතාවගේ ඉඩම් පිළිබඳ අරගල සම්බන්ධයෙන් ඔහු දැනුවත් කළ තොරතුරු ඇතුළු ඔහුගේ සහාය සහිතව ලියූ සිංහල මාධ්‍ය වාර්තා රැසකි.

කිලිනොච්චියෙන් කිලෝමීටර් කිහිපයක් දුරින් ඔහු පදිංචි ව සිටියේය. ඔහු සහ මා මුණගැසී ඇත්තේ කිහිපවරකි. එක් අවස්ථාවක් හැර අනෙක් අවස්ථා ද තරමක් කඩිනම් ඒවා විය. එහෙත් ඉන්පසු ඔහු සමග සිරුරින් දුරස් ව පැවැත්වූ සම්බන්ධතාව වඩා පුළුල් සහ මට පෞද්ගලික ව බොහෝ දේ ඉගෙනීමට අවස්ථා විවර කළ ඒවා විය.

ලංකාවේ ජනමාධ්‍ය කර්මාන්තය තුළ ස්ථිර ව සිටිය යුතු වුවද, දන්නා තරමින් ඔහුට එවැනි අවස්ථා ලැබුණාට වඩා අහිමි වූ අවස්ථා බොහෝ ය. ආර්ථිකය සහ වෘත්තිය ඇතුළේ සිර කෙරුණු, දක්ෂ ජනමධ්‍ය වෘත්තිකයෙකි, ඔහු.
හිත හොඳ මිතුරෙකි, ඔහු.
එවැන්නෙක් හදිසි අනතුරකින් අවසන් ගමන් ගොස් තිබේ.
සුබ ගමන් මිත්‍රයා !
හෙට වෙනුවෙන් කළ සියල්ලට ගෞරවය !

– ශාලික විමලසේන –

Social Sharing
අවකාශය නවතම