මම මාලිමාවට නෙවෙයි…!!

– කේ. සංජීව –

අර යන්නේ කොහේද මල්ලෙ පොල් ඇඩෙක දැක්කට පස්සේ මේක ලියන්නම කියලා හිතුනා. දැන් ෆේස්බුක් එකේ නම් ජවිපෙ ප්‍රමුඛ ජාජාබ දිනලා ඉවරයි. ඇත්තටම ඒක සතුටට කාරණයක්. මේක මීඩියා බබල් එක අස්සෙන් බලනකොට මාර ලස්සනයි. ඒක ආතල් එකක්. ඒ ආතල් එක ආතල් එකකින්ම කෙළවර වේවා කියලා මම නම් එකසිතින් ප්‍රාර්ථනා කරනවා.

ඇත්තටම මම කැමතියි මේ ඡන්දයෙන් ජාජාබ දිනලා ඊළඟ ඡන්දවලට අවශ්‍ය රැල්ල හදාගෙන අනුර කුමාර ජනාධිපති වෙනවා නම්. ඒක එහෙම වුණොත් 1956 වෙනසේ දෙවෙනි කොටස උනා වගේ වේවී කියලා හිතනවා. මේ වළව් ඉලව් ප්‍රභූ දේශපාලන ආධිපත්‍යය ඉවරවෙලා සාමාන්‍ය පවුල්වල මිනිස්සුන්ට පාලන බලය ගෙඩිය පිටින් ලැබුණොත් ඒක මරු. මම ඇත්තටම ඒකට මාර ආසයි. සහා කැමතියි. මේ අවුරුදු 74ම මේක කෑවේ විනාශ කළේ මේ ප්‍රභූ දේශපාලනය නේ. මේ කළු සුද්දොටික හැදිගෑවිලා යනවානම් ඒක මරු. ඒක වෙන්නත් ඕනී. ඉතිං ජාජාබ බලය ගත්තොත් විශේෂයෙන් විධායක බලය ගත්තොත් ඒ සුසමාදර්ශීය වෙනස මාරුවීම වෙන්න බොහෝ වෙලාවට ඉඩ තියෙනවා.

ඒත් ඉතිං මම නම් තවමත් කියන්නේ නෑ මම මාලිමාවට ඡන්දය දෙනවා කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි බොන්න එපා කියලා තමන්ගෙ සාමාජිකයන්ට නීති දාන පක්ෂයකට කොහොමද රටක් පාලනය කරන්නේ කියන ප්‍රශ්නය මට තියෙනවා. එහෙම පක්ෂයකට පන්සලක් වගේ තැනක් පාලනය කරන්න පුලුවන් වෙයි. ඒත් රටක් කියන්නේ මිනිස්සු රොත්තක්.ජීවන මාදිලි විශාල සංඛ්‍යාවක්.

මට ඕනී නිදහස් මිනිහෙක් විදිහට ජීවත් වෙලා මැරිලා යන්න. ඒකට මේ රට අස්සේ මට අවශ්‍ය කරන්නේ තවත් සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ ටිකක් විතරයි. ඉතිං මට සමාජවාදයක් ගැන හීනයක් හෝ සමාජවාදී විප්ලවයක් ගැන හීනයක් හෝ නෑ. ඒ නිසා සමාජවාදය හදන්නම් සමානාත්මතාවය හදන්නම් වගේ දේවල් කියන පක්ෂයකට බලය දෙන්න මම බයයි.

ඒකෙන් කියවෙන්නේ නෑ මේ ඉන්න පාලකයෝ හෝ එයි කියලා හිතෙන නායකයෝ හරි මේ දේවල් කරයි කියලා. ලංකාව ඒ අතින් සෑහෙන්න ගොබ්බයි. නායකයෝ වෙයි කියලා මිනිස්සු බලාපොරොත්තු (අරගලයෙන් පස්සේ) වෙච්ච තරුණයෝ පවා මේ ඡන්දයට ලෑස්තිවෙන විදිහ බැලුවාම පේනවා මේ රට ලේසියෙන් ගලවගන්න පුලුවන් තැනක නෙවෙයි හිරවෙලා තියෙන්නෙ කියලා. එහෙම තැනක මම තවත් බයයි රතුපාට ඇදගත්ත සහෝදරවරු අතට බලය යනවාට. මොනා වුණත් දන්න යකා හොඳයි කියලා හිතනවා. ඒ හිතෙන්නේ රතු පාලනයන් ගැන අපි කියවලා අහලා දැකලා තියෙන දේවල් අනුව. ජවිපේ ජාජාබ එතනින් වෙනස් කියලා ඔවුන් තමන්ගේ සංවාදයෙන් කතිකාවෙන් පෙන්වලා නෑ. ඔවුන්ගේ මීටිමක් අහගෙන හිටියාම මේක තේරෙනවා.

පහුගිය අරගල කාලේ අපේම මිත්‍රයෝ පක්ෂය කරට අරගෙන විරුද්ධ මත වලට විරුද්ධව වැඩකරපු විදිහ වගේම මේ දැන් උනත් විරුද්ධ පෝස්ටුවක් දැම්මාම ජවිපාවුන් ඒකට රියැක් කරන විදිහ බැලුවාම තවත් බය උපදිනවා මිසක් මාලිමාවට කතිරය ගහන්න හිත හදාගන්න බෑ. ඒත් ඉතිං අපේ මිත්‍රයෝ මේකේ අනුරාගයෙන් වැඩකරන විදිහ දිහා අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. බහුතරය තීරණය කළොත් මේක රතුපාට වෙන්න ඕනී කියලා අපි ඒක පිළිගන්නවා.

ඒත් ඉතිං ජවිපේ කියන පක්ෂයට වගේම ජාජාබට පුලුවන් වෙනස් වෙන්න. දැන් ඔවුන් ජාතිවාදයෙන් මෙහාට ඇවිත් බව පේනවා. ඒකට හොඳම නීදර්ශනය තමයි බර අවි කතාවට ඔවුන් දක්වපු ක්ෂණික ප්‍රථිචාරය.. ඒ වගේ රතු කමිස විජේවීර සිහින අමතක කරලා දියුණු ජනප්‍රිය සහ නවීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් විදිහට වර්ධනය වුණොත් මට හිතෙන්නේ මේ රැල්ලෙන් ජවිපෙට ගොඩයන්න පුලුවන් විතරක් නෙවෙයි ඒකෙන් ලංකාවේ විශාල සමාජ දේශපාලන වෙනසකුත් වේවී.

මට හිතෙන්නේ හරිනි වගේ කෙනෙක්ගේ භූමිකාව වැදගත් වෙන්නේ මෙතනදී.. හරිනි අමරසූරිය වගේ කෙනෙක්ගේ නායකත්වය අස්සේ එලබෙන ජනාධිපතිවරණයකට මේ රැල්ලෙන් මේ වෙනස් වීම් ඇතුලෙන් ගියොත් සියලු බලවේග එකතුකරගෙන මේ වෙනස කරන්න අමාරු වෙන එකක් නෑ.

ඒත් ඉතිං ඒ තරමට ඉවසන්න සහ වෙනස් වෙන්න ජවිපෙට පුලුවන් වෙයිද? ඒක තමයි ප්‍රශ්නය…!! ඒකට ඉතිං මේ තමන්ම හදාගත්ත මීඩියා පෙන බුබුලෙන් එළියට එන්න ඕනී…!

 

 

Social Sharing
නවතම විශේෂාංග