ආසියා…

කුර්දි කඳු කියන්නෙ බොහොම වෙනස් පෙනුමක් .. කාලගුණයක් තියෙන අමුතුම ලෝකයක්.
මේ කඳු පාරවල් දිගේ ඇවිදිනකොට ඇහෙන දොසාලේහ් සංගීතය මිහිරියි වගේම ටිකක් දුක් බරයි.
දොසාලේහ් කියන්නෙ සාම්ප්‍රදායික බට නලාවක්.
 හරි අමුතු ගුප්ත ලස්සනක්  තියන මේ කඳු කලාප වලදි මැදපෙරදිග කාන්තාර මැදින් එන උණුසුම් හුලඟත් උතුරු කොකේසියානු කඳු වලින් එන සීතලම සීතල හුලඟත් එකට මුණ ගැහෙනව.
මේ  කඳුකරය තියෙන්නෙ සිරියාවත් දකුණු තුර්කියත් අතර මායිමේ.  බොහොම රුව ඇති මිනිස්සු ජීවත් වෙන මේ කඳුකරයේ සංස්කෘතිය උතුරු ඉරානය.. ඉරාකය… සිරියාව.. තුර්කිය දක්වා මහා ලොකු පරාසයක දිවෙනව.
ඒ විතරක් නෙවේ ආර්මේනියාව.. අසර්බයිජානය… ලෙබනනය.. ඊශ්‍රායලය වගේ කලාප හරහා මේ ජන කොට්ඨාශය ජීවත් වෙනව.
අපි ඒ අයට කියන්නෙ කුර්දි ජාතිකයන්.
ආසියා කුර්දි දැරිවියක්. එයා ඉපදෙන්නෙ අපි මේ කතා කරන කුර්දි කඳු කලාපයට අයිති කමිශ්ලි කියන කුඩා ගම්මානයේ. (Asia Ramazan Antar) බොහොම අපූරු රුවක් තියන ආසියා රාමසාන්ට කුඩා කාලෙදිම යෝජිත විවාහයකට එකඟ වෙන්න සිද්ධ වෙන්නෙ දුප්පත් කම හින්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මේ දැරිය බුද්ධිමත් ඒ වගේම ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න බය නැහැ.  මේ නිසාම විවාහයෙන් මාස කීපයකට පස්සෙ ආසියා තීරණය කරනව දික්කසාද වෙන්න.
“ඒක ආඩම්භර වෙන්න දෙයක් නෙවේ… ඒ මනුස්සයා පුදුමාකාර විදිහට ඊරිසියයි… ජීවත් වෙන්නෙ වෛරයෙන් මිසක් සතුටින් නෙවේ. මම හිටියෙත් සතුටින් නෙවේ. මොකද්ද තේරුම මෙහෙම දුක් විඳින එකේ.  අහල පහල මිනිස්සු මොනව කීවත් ඒකෙ ඇති දෙයක් නෑ… මම තීරණය කරා වෙන් වෙන්න.”
පහු කාලෙක ආසියා කියනව.
ඒ වෙද්දි ආසියාට යන්තම් අවුරුදු පහලව වුනා විතරයි. කුර්දිශ් වරුන්ගෙන් වැඩිදෙනා සුන්නි මුස්ලිම් වරු. නමුත් ඒ අයගෙ සංස්කෘතිය අරාබි සංස්කෘතිය නෙවෙයි.  ඒ අයට තියනව බොහොම සිත්ගන්නා කඳුකර සංස්කෘතියක්.  කුර්දි කාන්තාවන්ගෙ ඇඳුම් බොහොම වර්ණවත්… ගායනයේ නර්තනයේ දක්ශ මේ මිනිස්සු ඉන්න කිට්ටුව නිතරම සංගීත සාද දකින්න පුළුවන්. කුර්දි ආහාර කියන්නෙ ලෙබනන් තුර්කි ආහාර වලට සමාන බොහොම රසවත් ආහාර.   මේ අය ගැන කතා කරද්දි අපිට මතක් වෙන්නෙ අපි කලින් කතා කරපු මසූඩ් සහ එයාගෙ ටජික් කඳුකර වැසියන්ව.
ක්‍රිස්තියානි… ඕතඩොක්ස්… වගේම ආගම් අදහන්නෙ නැති කොටස් පවා කුර්දි ජනගහනයට ඇතුලත්. ගොවිතැන… බැටළුවන් හා එළුවන් පාලනය… ඇඳුම් හා ආභරණ නිෂ්පාදනය.. වගේ දේ තමයි මේ කඳුකර  කුර්ද් වරුන්ගේ දෛනික ජීවිතය. ඊට අමතරව ලෝකය පුරා ප්‍රසිද්ධ කුංකුම එකතු කරන්නත් මේ අය නම් දරාපු දක්ශයො.
ආසියා තමන් ඉපදුනු ගෙදරට එන දවස්වලම තමයි අයිසිස්.. ඩයෙශ් වගේ අන්ධ සංවිධාන ඉස්ලාමික රාජ්‍යයක් ගැන දොඩවන්නෙත් ඒ රාජ්‍ය පිහිටුවන්න උතුරු ඉරාක… සිරියානු බිමක් තෝරගන්නෙත්.
  ( الدولة الإسلامية ad-Dawlah al-Islāmiya).
ලෝකය පුරාම පැතිරෙනව කියල මේ අය විශ්වාස කරන මේ රාජ්‍ය පිහිටුවන්න තෝරගන්නෙ ආසියා ඉපදුනු ගම් බිම් ප්‍රදේශ අයිති වෙන කලාපයක්. ආසියාගෙ පරපුරත් මුස්ලිම් වරු… නමුත් අන්ධ විශ්වාස වලින් මිනී මරන මුස්ලිම් වරු නෙවෙයි. කාන්තාවන්ට බුර්කා අන්දවල යුරෝපයට ඇවිත් ගණිකාවන් මිළදී ගන්න මුස්ලිම් වරු ගැන නෙවේ අපි මේ කතා කරන්නෙ. මේ අයගෙ ජීවන රටව සරලයි. ඒ නිසාමයි මේ විකාර හමුදාවට එරෙහිව එකතු වෙන කුර්දි වරුන්ගේ සංවිධානයට බැඳෙන්න ආසියා තීරණය කරන්නෙ. මුල් මාස දෙක තුනේ ගම වටේ අගල් කපන්න.. වැටවල් ගහන්න සහය වෙන ආසියා ටික දවසකින්ම ඉස්සරහින්ම ඉන්න සෙබලියක් වෙන්නෙ දක්ශ කම නිසාමයි. මාස කීපයක් ඇතුලත එයාට පාවිච්චි කරන්න බැරි අවියක් නැහැ.
ඩයෙශ් කියන්නෙ යුරෝපා රටවලත්..  උතුරු ඇමරිකාවෙත්.. ආසියාවෙත් භීශණය පතුරවපු සංවිධානයක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. මේ නිසාම බටහිර රටවල් එක්ක තුර්කිය.. සිරියාව.. විතරක් නෙවේ රුසියානු බලය පවා ඩයෙශ් සංවිධානයට විරුද්ධව එකතු වෙනව. සතුරාගේ සතුරා මගේ මිතුරාය කියන අදහස මේක විය යුතුයි. නමුත් නොදන්නා ප්‍රදේශ වල සටන් කරන්න මේ අය දක්ශ නෑ.  මේ සටන් වලින් දිනන්න නම් කුර්දි වරුන්ගේ සහය අත්‍යාවශ්‍යයි.
නමුත් කුර්දි වරු කියන්නෙ රටක් බිමක් අහිමි වුනු නොසලකා හැරපු ජාතියක්. මේ අයගෙ රාජ්‍යයන් දැනට අවුරුදු හත් අටසීයකට කලින් බොහොම බලවත්. උදාහරණයක් විදිහට ඉතාම බලවත් හා වැදගත් රාජ්‍යයක් වූ හැසරාස්පිඩ්ස්  Hazaraspids කියන්නෙ කුර්දි වරුන් ගොඩ නගපු රාජ්‍යයක්. අද මේ පෙදෙස් අයිති වෙන්නෙ ඉරානයට. නමුත් කාලිෆට් ආක්‍රමණ… ඕටමන් වරුන්ගේ ආක්‍රමණය හා රාජ්‍යය.. පලමු හා දෙවන ලෝක යුද්ධ හරහා කුර්දි වරුන්ට තමන්ගෙ බිම් අහිමි වෙනව. මැදපෙරදිග තෙල් හා ගෑස් සංචිත සොයා ගැනීමත් තවත් වැදගත් සාධකයක්.  ඒ වෙනම කතා කල යුතු බොහොම රසවත් මාතෘකාවක්.
නමුත් ඩයෙශ් අයිසිස් නැගිටීමත් එක්ක හැමෝටම කුර්දි වරුන්ගේ සහය අවශ්‍ය වෙනව. මේ අය සටනේදී දක්ශ බය නැති පිරිසක් විදිහට ප්‍රසිද්ධයි. ප්‍රංශ අවි වගේම.. අමරිකානු.. රුසියානු.. තුර්කි අවි ආයුධත්   සිරියානු උදව් හා මුදල් කුර්දිශ් වරුන්ට ලැබෙනව.
ඒ විතරක් නෙවේ මේ සටන් වලින් දිනුවොත්  ස්වයං පාලනයට බිම් ප්‍රදේශ එහෙමත් නැත්නම් රටක් ගැනත් විවිධ පොරොන්දු මේ අයට ලැබෙනව.
මෙන්න මේ පසුබිමේදීයි ආසියා සෙබලියක් බවට පරිවර්තනය වෙන්නෙ. ආසියා තෝර ගන්නෙ ඉදිරි පෙල සටන් බිම මිස පිටුපස ආරක්ශාකරී ප්‍රදේශ නෙවේ. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයත් එක්ක මේ ප්‍රදේශයට ගිය ඡායාරූප ශිල්පියෙක්ට අහම්බෙන් දකින්න ලැබෙනව මේ රූමත් දැරිය.  දෙපාරක් හිතන්නෙ නැතුව  එයා පිංතූර  කීපයක් ගන්නෙ ලෝක අවධානය ලැබෙන බව දන්න නිසාමයි.
යුධ බිමේදී දුටු පෙනලූප් කෲස් විදිහට විදිහට ස්පාඥ්ඥ පුවත්පතක් මේ ඡායාරූපය පල කරනව. හිතුව හරි එක දවසකින් ආසියා ගැන බටහිර ලෝකය පුරා ප්‍රසිද්ධ වෙනව. ඇමරිකානුවන් කියන්නෙ කුර්දි ඇන්ජලීනා ජොලී කියල.
මේ කාලෙ යුද්ධය බොහොම තදින් ඇවිලෙනව… ඇමරිකානු චිත්‍රපටි නිෂ්පාදකයෙක්ට අවශ්‍ය වෙනව ආසියාව හොලිවුඩ් තරුවක් කරන්න. නමුත් දැන ගන්න තියන විදිහට  ආසියා ඒක ප්‍රථික්ශේප කරන්නෙ නෝ -වේ කියන වචන දෙකත් එක්ක.
ඒ 2016 අගෝස්තු තිස් වෙනිදා… හිතපු විදිහටම ඒ තමයි ආසියා රාමදාන්ගෙ අන්තිම දවස.
මරාගෙන මැරෙන අයිසිස් සංවිධානයට අයිති වාහන තුනක් කුර්දි ආරක්ශක වළල්ල දිශාවට එනව.
මේකෙන් වාහන දෙක විනාශ කරන්න ආසියාටත් එයාහෙ සගයින්ටත් පුළුවන් වෙනව.
තුන්වෙනි වාහනයට නොකඩවා වෙඩි ප්‍රහාර එල්ල වුනත් ඒ වාහනේ පුපුරන්නෙ ආසියාත් එක්කමයි.  ඒ තමයි යුද්ධයේ හැටි.  ඒ වෙද්දි ආසියාට යන්තම් අවුරුදු දහ අට වුනා විතරයි.
මාධ්‍ය ලෝකය පුරාම ආසියාගෙ පිංතූර සැරිසරනව.
කුර්දි වරුන්ගේ සහයෙන් කාලයත් එක්කම අයිසිස් හෝ ඩයෙශ් සංවිධාන මේ ප්‍රදේශයෙන් අයින් කරන්න මිත්‍ර පාර්ශව වලට පුලුවන් වෙනව. ඒ ඒ රටවල් තමගෙ ජයග්‍රහණ ගැන පුරසාරම් දොඩවනව… ප්‍රංශයේ ෆ්‍රන්සුවා හෝලන්ඩ්… සිරියාවෙ බසාර් අල් අශාඩ්.. රුසියාවේ ව්ලැඩිමීර් පුටින් තම තම්ගෙ හපන් කම් ගැන කතා කරනව වගේම ..තමන්ගෙ රටවලට අහිමි වූ සොල්දාදුවන් ගැනත් ගනන් හිලව් ඉදිරිපත් කරනව.
එතකොට කුර්දිශ් වරු… ? කුර්දිශ් වරු..  එහෙම විශේෂ කොටසක් නෑ.. කුර්දිස්තානය කියන්නෙ රටක් නෙවේනෙ. එතකොට සිරියාවෙන්.. තුර්කියෙන්.. ඉරානයෙන්  ආපහු දෙන්න පොරොන්දු වුනු කුර්දිශ් බිම් ප්‍රදේශ..?  ඒ වගේ මාතෘකා කතා කල යුතු නෑ.
ඉතිහාසය පුරාම වගේ ඒ මිනිස්සු ආපහු රැවටෙනව. ඉරාකයේ තෙල් බිම් සහිත උතුරු ප්‍රදේශ වල  සාම්ප්‍රදායික අයිතිය තියෙන්නෙ කුර්දිශ් වරුන්ට. නමුත් ඉරාකය ඒ අයට ආපහු දෙන්නෙ ශුෂ්ක කාන්තාර බිමක්.
අද ඉරානය පුරාම ඇදෙන අරගල රැල්ලට මූලික වෙන්නෙ… ගැහැනුන්ට සත්තුන්ට වගේ සලකන අන්ධ ආගමික නීති රීති බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. නමුත් පර්සියාව හෝ පර්සියානු සංස්කෘතිය ගැන නොදන්න ජනී ජනයා කියන්නෙ ඒ බටහිර කුමන්ත්‍රණ කියල.
ඉරාන අරගලයට සහය දක්වමින් සිරියානු… තුර්කි .. ඉරාක නගර පුරාත් උද්ඝෝශණ පැවැත්වෙනව.  මෙන්න මේ නගර තමයි කුර්දිශ් වරු ජීවත් වෙන්නෙ. ඒ මිනිස්සු ඉල්ලන්නෙත් නිදහස. දැනට දවස් ගානක ඉඳල මේ නගර මර්ධනය වෙන්නෙ අවි බලයෙන්. තුර්කි යානා .. කුර්දි කඳුවලට උදේ හවස බෝම්බ අතාරිනව.  කුර්දි නගර ගිනිබත් වෙනව. ආර්මේනියානු … ජෝර්ජියානු ගම් ප්‍රදේශ වලට රුසියානු ප්‍රහාර එල්ල වෙනව.
ගාසා තීරයේ පලස්තීන ජාතිකයන් දෙතුන් දෙනෙකු  ඝාතනය කිරීම ගැන ලෝක මාධ්‍ය කතා කරනව…  නමුත් කුර්දි වරුන් ගැන මොන මාධ්‍යද කතා කරන්නෙ. ඊශ්‍රායල් වරුන් සාධාරණීකරණය කරනව නෙවෙයි. නමුත් ඒ හා සමානව අනිකුත් ප්‍රහාර ගැන ලෝකය කතා නොකරන්නෙ ඇයි. ඒ විතරක් නෙවේ යේමනය… ආර්මේනියාව  හා ජෝර්ජියාවෙ සිද්ධ වෙන ඝාතන ගැන ලංකාවෙ එක පුවත් පතක් කතා කරනවද.? කෙනෙක්ට කියන්න පුළුවන් ඒ සුළු ජන කොටසක් මිස රටක් හෝ විශාල ජනගහනයක් නෙවේ කියල.  මිලියන 30 කට ආසන්න ජනගහනයක් සුළුද..?
තුර්කියේ ජීවත් වෙනව මිලියන පහලවකට වැඩි කුර්දි වරුන්. ඉරානයේ මිලියන අටක්… ඉරාකයේ මිලියන හයක්… සිරියාවේ මිලියන හතරක් ආදී වශයෙන් විශාල කුර්දි ජනගහනයක් ජීවත් වෙනව. යුරෝපයෙත් උතුරු ඇමරිකාවෙත් මේ අය විසිරිලා යන්නෙ සාධාරනයක් ඉටු නොවෙන හින්දයි.
ඉරාන අරගල රැල්ල පටන් ගන්නෙ රූමත් මාශා අමීනිව මරා දැමීමත් එක්කයි. මාශා කරපු එකම වැරැද්ද හිජාබ් හිස් ආවරණය කෙහෙ රොදක් පිටතට පෙනෙන විදිහට පැලඳීම. හිනා වෙන්න එපා මේ විසි එක් වන සියවස.
කවුද මේ මාශා…?  මාශා ඉරාන වගේම කුර්දිශ් තරුණියක්.
කුර්දි වරුන්ගේ දුක තේරුම් ගන්න අමාරු නෑ මේ කතංදරය දැනගත්තම.
පරිසියානුවන් කියන්නෙ කුර්දි වරුන් එක්ක එකට යන ජන කොටසක්
 “අයතුල්ලා කුමේනිගෙ විකාර” පර්සියානු සමාජයට රිංගවන තෙක්.
පහුගිය අවුරුදු හය හත තුල තුර්කිය විසින් මරා දැමූ කුර්දි වරුන්ගේ ගණන 40,000 ට අධිකයි.  ඉරානයේ .. ඉරාකයේ… සිරියාවේ දවස ගානෙ මේ සංඛ්‍යා ඉහල යනව.
ආසියා අමතක කරපු විදිහටම කාලයත් එක්ක මාශා අමීනීවත් අමතක කරල දමාවි. ලෝක බලතුලනය…. දෙවියන්… තෙල් හා ගෑස්… සංස්කෘතිය මේ දැරිවියන්ට වඩා වටිනව… ලෝකය කියාවි.
තවත් සමහරු කියන විදිහට මාශා අමීනිව ආසියා.. විසින් බොහොම ආදරෙන් පිලිගන්න ඇති. මේ ලෝකයට මේ වගේ දැරිවියො ලස්සන වැඩියි පිටත රූපයෙන් වගේම ඇතුලතින්..
ලංකාවෙ දේශපාලන නොසන්ඩාලකම් වලට විරුද්ධව ජිනීවා නගරයේ උද්ඝෝශන කරදි ඔය කුර්දි වරුන් අපිත් එක්ක නිතරම හිටිය. ජිනීවා ආපු බොහෝ දෙනෙක්ට ඒ අයව මතක තියනවට සැකයක් නෑ.
අදත් කුර්දි වරුන් ආසියාව පිලිගන්නෙ කුර්දි වීරත්වයේ සංඛේතයක් විදිහට. එක්තරා විදිහකට ඇය අමරණීයයි. ආසියා ගැන ලියවුනු බොහොම ලස්සන කුර්දි කවි පංතියක් තියනව පරිවර්තනය කල යුතු. මේ කවි කුර්දි කඳුකරයේ  දොසාලේහ් සංගීතයත් එක්ක නිතර ඇහෙන බව මගේ කුර්දි මිත්‍රයෙක් කියනව. අමතක කරවපු ආසියා හෝ කුර්දිවරු… හැමෝටම අමතක නෑ.
Asya Ramazan Antar (1998–2016)
උපුටාගැනීම malcom sang ෆේස්බුක් පිටුවෙනි.
ඇය ගැන තව කියවන්න පිවිසෙන්න – https://www.bbc.com/news/world-middle-east-37337908
Social Sharing
අවකාශය නවතම