20 වන සංශෝධනය: අනාගතයක් ගොඩ නැඟීම සහ අතීතය අමතක කිරීම – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

1948 පෙබරවාරි 04 වන දින අපගේ පළමු පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමේ උත්සවයේදී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මෙවැනි වචනවලින් ජාතිය අමතනු ලැබුවේය. “මතකයන් මත පමණක් ජීවිත්වීමට මිනිසුනට නොහැකි බව සත්‍යයකි. අනාගතයේදි ඔවුන්ට මඟ පෙන්වීම සඳහා ඉතිහාසය බොහෝ විට ශක්තියක් හා ආශ්වාදයක් ලබා දෙන බවද ඒ හා සමාන සත්‍යයකි. ඔවුන්ගේ නිවැරදි පර්යාලෝකය තුළ වර්තමානය හා අනාගතය දැකිය හැකි වන්නේ අතීතයේ පසුබිමට එරෙහිව පමණකි”.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අපගේ පාලන අත්දැකීම් පිළිබිඹු නොකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ වැදගත් කර්තව්‍යයකට අලුතින් තේරි පත්වු රජය කටයුතු කරමින් සිටී. දැනට ගැසට් කර ඇති 20 වන සංශෝධනය සම්මත කර ගැනිම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයේ නවතම අභ්‍යාසය වන 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් උද්ගත කරුණු විවාද කිරීමේදි වසර ගණනාවක් මුළුල්ලේ පාලනය පිළිබඳ අපගේ සාමුහික මතකයන් නැවත සක්‍රිය කළ යුතුය. එසේ කිරීමෙන් අනාගතයේදි අපේ රට වෙනුවෙන් අපට ලැබිය යුතු සහ අවශ්‍ය වන පාලනය පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වමින් 1948 දි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රකාශය ගැන අප සිතා බැලිය යුතුය.

19 වන සංශෝධනය අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා වු පොදු ජන පෙරමුණු මැතිවරණ ව්‍යාපාරය

19 වන සංශෝධනය අහෝසි කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම හෝ එහි දැක්ම සම්බන්ධයෙන් ප්‍රධාන හේතු පැහැදිලි කරන ලෙසට විපක්ෂය හෝ මාධ්‍ය විසින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන් නොවිමසන ලදි. බලයට පැමිණ මාසයක පමණ කාලයක් තුළදි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තුළ රජයේ ආයතන තුන, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය(උසාවි) අතර බලය බෙදා හැරීම සංවරණ හා තුලනයකින් තොරව ජනාධිපතිට උත්තරීතර බලතල ලබාදීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබිණ.

19 වන සහ 20 වන සංශෝධන සංසන්දනය කිරීම

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැවති මූලධර්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රටේ පාලනය සඳහා විශාල වැදගත්කමක් ඇති අංශවලින් ඉවත් කර ඇති බව මෙම සංශෝධන දෙක සංසන්දනය කිරිමෙන් පැහැදිලිව පෙනී යයි.

ජනාධිපති ධුරයේ කාලය සහ තනතුර සඳහා සුදුසුකම්

19 වන සංශෝධනය තුළින් 18 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැවති විධිවිධාන අවලංගු කොට වසර 5 ක ධුර කාලයක් සහ ඔහුට මෙම කාර්යයේ සේවය කළ හැකි කාල සිමාව සඳහා වාර දෙකක සිමාවක් නියම කරනු ලැබිණ. මෙම විධිවිධාන 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ රඳවාගෙන ඇත. එසේ වුවද 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපති ධුරය දරන ජනාධිපතිවරයාට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැවති විධායක ජනාධිපතිවරයාගෙන් සියලු බලතල සහ තවත් බලතල කිහිපයක් දක්නට ලැබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියකු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස හෝ ජනාධිපති ලෙස තේරි පත්වීම තහනම් කර තිබිණ. මෙම තහනම 20 වැනි සංශෝධනය මගින් අවලංගු කර ඇති අතර එවැනි පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෝ ජනාධිපති විය හැකිය.

මෙම බලතල ක්‍රියාත්මක කිරීමේදි මහජනතාවට සහ රජයේ අනෙකුත් අංශවලට ජනාධිපති බලතල සහ වගවීම

විධායක ජනාධිපති බලතල අඩුකිරීමේ සමස්ත අරමුණට අනුකූලව වගකිව යුතු පාලනයක් සඳහා 19 වන සංශෝධනය තුළින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලකිය යුතු වෙනස්කම් සිදුකරන ලදි.

පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාගේ සම්බන්ධතාවය

(අ). ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීමේදි පාර්ලිමේන්තුවට ඇති වගකීම

19 වන සංශෝධනය මගින් ආණ්ඩුකරණයේ මූලික මූලධර්මයක් ලෙස ජනාධිපති බලතල හා කාර්යයන් ක්‍රියාත්මක කිරිමේදි පාර්ලිමේන්තුවට ඇති වගකීමට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබුනද 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එහි වැදගත්කම ප්‍රතික්ෂේප කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන “ඉහළ තනතුරු” සඳහා පුද්ගලයන් පත් කිරීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට පූර්ණ බලතල ලබාදී තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් අධික්ෂණ වගකීම පැවරූ ව්‍යවස්ථාදායක සභාව 20 වන සංශෝධනය මගින් අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් හඳුන්වා දී ඇති අතර ඊට පුද්ගලයන් පත් කිරීම ජනාධිපති විසින් සිදු කෙරේ. එය ජනාධිපතිවරයාගේ පාලනය යටතේද පවති.

(ආ). පාර්ලිමේන්තුව විසුරුවා හැරීම

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එන මැතිවරණයෙන් වසරකට පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලබාදී ඇත.

ජනාධිපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය පාලනයේ විධායකය ලෙස

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ එකඟවු පරමාර්ථ වුණේ ජනාධිපතිවරයාගේ විධායක බලය අඩු කිරිම ගැන එම බලතල සමහරක් පාර්ලිමේන්තුවෙන් පැමිණෙන අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලයට ලබාදීමය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවතත් ජනාධිපතිවරයාට විධායක බලතල ලබාදීමේ සංකල්පය ක්‍රියාවට නැංවිය හැකි විධිවිධාන ඇතුළත්කර ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අග්‍රාමාත්‍යවරයාට සහ කැබිනට් මණ්ඩලයට අදාළව ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් කිසිදු සංවරණ සහ තුලන තත්ත්වයක් නොමැත.

අධිකරණය

අධිකරණය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයක් තුළ ආණ්ඩුවේ ඉතා වැදගත් අංගයක් වන අතර යුක්තිය පසිඳලිමේ ආයතන ස්වාධීන හෝ දේශපාලන මැදිහත්වීම් වලින් තොර විය යුතුය. විනිසුරුවන් පත් කිරීම සහ සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවට වගබලා ගැනීම සඳහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඇතැම් ක්‍රියාමාර්ග ඇතුළත් කර ඇත.

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාවේ විධිවිධාන අවලංගු කර ඇත. ඒ සභාව වෙනුවට ආදේශ කර ඇති පාර්ලිමේන්තු සභාවේ නිරික්ෂණ ලබා ගැනිමට ජනාධිපතිවරයාට අවශ්‍ය වුවද ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවන් පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් සලකා බැලිම අවශ්‍ය නොවෙන අතර එය ඔහුගේ අභිමතය පරිදි සිදු කළ හැකිය. එසේම ඔහුගේ අභිමතය පරිදි අධිකරණ සේවා කොමිෂන් සභාවේ සේවය කරන විනිසුරුවන් දෙදෙනා සේවයෙන් පහ කළ හැකිය.

නිතිපතිවරයා යුක්තිය පසිඳලීමේදි වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලැබුවද 20 වන ව්‍යවස්ථා සංශෝධන මගින් ජනාධිපතිවරයාගේ පූර්ණ අභිමතය පරිදි මෙම පත්වීම සිදු කළ හැකිය.

ඉහළ තනතුරු සහ රජයේ කාර්යාල

20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාවේ අධික්ෂණය සහිතව නම් කරන ලද ඉහළ තනතුරු සඳහා පත්කිරිමේ විධිවිධාන අවලංගු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උසස් තනතුරක් ලෙස සැලකෙන විගණාකාධිපති ධුරය 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින්ද රඳවා ගෙන තිබුනද ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි ඔහු පත්කිරීම සහ ඉවත් කිරීම සිදු කළ හැකිය. ඔහු පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දක්වන ලද ව්‍යවස්ථා සභාවේ

අධික්ෂණය ඉවත් කර තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පිහිටුවන ලද විගණන සේවා කොමිෂන් සභාව සහ ප්‍රසම්පාදන කොමිෂන් සභාව 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අවලංගු කර ඇත.

“ස්වාධීන” මහජන කොමිෂන් සභා සහ 20 වන ව්‍යවස්ථා සංශෝධනය

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මුතියෙන් සම්මත වු විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගත් වැදගත් මහජන කොමිෂන් සභා ජනාධිපතිවරයාගේ පාලනයෙන් ස්වාධින විය යුතු බවට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් එකඟතාවයන් තිබිණි. 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පැහැදිලිව හඳුනාගෙන තිබූ මෙම මුලධර්මය 18 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් අවලංගු කරනු ලදුව නැවත වරක් 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනයට ඇතුළත් කරන ලදි.

පත් කිරීම් සහ පහ කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරන ලැබුවද ව්‍යවස්ථාදායක සභාවේ අධික්ෂණය යටතේ එය සිදු කරනු ලැබිණ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් කොමිෂන් සභාවල වැඩ කටයුතු ශක්තිමත් කිරීමේ විධිවිධාන ඇතුළත් කර තිබිණ. එම සංශෝධනය මගින් වැදගත් රාජ්‍ය ආයතනවල සහ කාර්යාලවල අධික්ෂණය, මහජන අරමුදල් භාවිත කිරීම සහ මුල්‍ය හා කළමනාකරණ වගවීම සඳහා පහසුකම් සැලසීම සඳහා විගණන සේවා සහ ප්‍රසම්පාදන කොමිෂන් සභා පිහිටුවන ලදි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කොමිෂන් සභාවල පුද්ගලයින් පත් කිරීම සහ පහ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පූර්ණ බලතල ඇත. වත්මන් මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පහ කිරීම සම්බන්ධයෙන්ද ඉහත කී පරිදි ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සිදු කළ හැකිය. 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත්කරුවන් විසින් නැවත වරක් ජාතික මානව හිමිකම් කොමිෂන් සභා පිළිබඳ පැරිස් මූලධර්ම විසින් නියම කර ඇති ප්‍රමිතීන් නොසළකා හැර තිබේ.

පාලනය පිළිබඳ පශ්චාත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ අනාගතය

19 වන ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බලය අඩු කිරීම සහ තේරී පත්වු අග්‍රාමාත්‍යවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිම්නේතුව සමග නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා නැවත පාලනය කිරීම සඳහා වු තාවකාලික මුල පිරීමකි.

ජනධිපති පාලන ක්‍රමය තුරන් කිරීමේ උපාය මාර්ගයක් ලෙස 2019 වසරේදි පොදු ස්වාමිත්වයක් ලෙස පැවති 20 වන ව්‍යවස්ථා සංශෝධනය දැන් ශක්තිමත් විධායක ජනාධිපති ධුරයක් පවා නිර්මාණය කරනු පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනසක් ලෙස ඉස්මතු වී තිබේ. මේ වතාවේදි පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත සම්මුතියක් නොමැත. මෙම සන්දර්භය තුළ, ඉදිරි වසරවලදි රටෙහි පාලනය සඳහා ව්‍යවස්ථාදායක මිනුම් ලකුණක් වීමට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය වේවි දැයි අපි නොදනිමු.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ හැකියාව ගැන අපි කතා කරන අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය අතුරු පියවරක් යැයි කියනු ලැබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය පිළිබඳ අපගේ අත්දැකීම් මොනවාද ? පූර්ණ සහභාගිත්ව කෙටුම්පත් ක්‍රියාවලියකින් පසු දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වූ විට නෙල්සන් මැන්ඩෙලා කියා සිටියේ ව්‍යවස්ථාවක් යනු “ජාතියේ අභිලාෂයන් මූර්තිමත් කරන නීතියක් ”බවය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අපේ ජාතියේ අභිලාෂයන් කිසි විටෙකදීවත් සාක්ෂාත් නොවී ඇත්තේ විරුද්ධවාදී දේශපාලනය නිසා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව වෙනුවෙන් මිස ඔවුන් වෙනුවෙන් නොවන බව දේශපාලනඥයින් විසින් පිළිගැනීමට අපොහොසත්වී තිබේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේදි දේශපාලන අවශ්‍යතා යළිත් වරක් ආධිපත්‍ය දරයි. රජය තුළ පවා සම්මුතියේ ඌනතාවයෙන් පෙනී යන්නේ ලේඛනය කෙටුම්පත් කිරීම සඳහා කිසිවෙකු හිමිකාරිත්වයක් නොගන්නා බවය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම අපට මතක් කර දෙන්නේ එය මහජන යහපත සඳහා යැයි යෝජනා කරන ලද ශ්‍රේෂ්ඨ විනිසුරුවරයකු ගේ වදන් වන “නීති රහසිගත ලෙස පිළිසිඳ නොගෙන අපැහැදිලි ලෙස ගෙන එනු ලැබේ” යන්නය.

පසුගිය දශක කිහිපය තුළ මේ රට දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කිරීම අත්විඳ ඇත. බලය අයුතු ලෙස භාවිතා කිරීමෙන් පාලනය සහ යුක්තිය පසිඳලීමට බලපා ඇති ආකාරය ඔවුන් දැක තිබේ.

ජනපතිවරයා සහ ජනතාව පාලනය පිළිබඳ අපගේ ජාතික අත්දැකීම් පිළිබිඹු කළ යුතු අතර, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 20 වන ව්‍යවස්ථාව සංශෝධනයක් ගෙන ඒම මගින් නිර්මාණය කරන ලද “රාජාණ්ඩුවක්” ජනතාවගේ සහ ජනාධිපතිවරයාගේ දිගුකාලින උවමනාව සඳහා දැයි විමසිය යුතුය.

අගැමති මහින්ද රාජපක්ෂ සහ මහාචාර්ය ජී. එල්. පීරිස්, 1948 දි සිටි ඔවුන්ගේ නායකයාගේ ප්‍රඥාවන්ත වදන් පිළිබිඹු කළ හැකි අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පදනම් කරගත් 2000 වසරේ කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාලන ක්‍රමයේ වටිනාකම් පාලනය සඳහා නැවත ගෙන ආ හැකිය. ඔවුන් විසින් පාලනයේ දිගු කාලීන අත්දැකීම් සමඟ නායකත්වය ලබාදී

“තනි බලගතු නායකයා” ආකාරයේ පාලනයක් තුළ නිසඟයෙන් ඇතිවන අර්බුදයෙන් සහ අවදානමෙන් මෙම ජාතිය ආරක්ෂා කර ගත යුතුය.

සැ.යු.

පරිවර්තනය ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු

මෙය මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර විසින් ලියන ලද (The 20th Amendment: Building future and Forgetting the past” ලිපිය ඇසුරින් සැකසිණ.) උපුටා ගත්තේ රාවය

Print Friendly, PDF & Email

Related posts

Leave a Comment