2023 අයවැය කියවීම අද

 

ස්ථාවර හා දිගු කාලීන ආර්ථික වර්ධනයක් වෙනුවෙන් සැකසුන 2023 අය – වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ , ප්‍රාග්ධන වෙළෙඳපොළ, අපනයන වෙළෙඳපොළ, ශ්‍රම වෙළෙඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් 2023 අය වැය මගින් යොමු කර ඇති අතර සමාජ වෙළෙඳපොළ ආර්ථිකය ඔස්සේ අය වැය ඉලක්ක සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙන බවයි.

සමාජ සුබසාධන ප්‍රතිලාභ නිශ්චිතවම අවශ්‍ය වන ජනතාව වෙත පිරිනැමීමටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගොඩනැගීම සඳහා වන ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කිරීම කෙරෙහි ද මෙවර අය වැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබේ.

අය- වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 සිට දෙසැම්බර් 8 වනදා දක්වා පැවැත්විමට නියමිත අතර අයවැය තුන්වර කියවීමේ ජන්ද විමසිම දෙසැම්බර් 8 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය ඉක්මවා තිබේ.

ලබන වසරේ වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා වෙන්කර ඇති මුදල රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික වන අතර ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්පාලන සහ පළාත් සභා අමාත්‍යාංශය වෙනුවෙනි.

එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහකි.

මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධිකව වෙන් කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි හතළිස් එක් දහසකි.

 

(newsfirst)

Social Sharing
නවතම