කන්දකාඩු ගැටුමේ සුලමුල හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පැවසුවේ, එම පරීක්ෂණය පැවැත්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි.

එම වාර්තා අධිකරණ අමාත්‍යවරයාට ඉදිරියේදී ලබාදීමට නියමිතව බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් 201 දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා ඊයේ පැවසීය.

පොලීසිය පැවසුවේ, ගොඩනැගිල්ලක් අත්පත්කර ගෙන සිටි රැඳවියන් පිරිස ඊයේ (07) පස්වරුවේ පොලීසිය වෙත භාරවීමෙන් පසු  අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර සිද්ධිය අතරතුර පළාගිය රැඳවියන් 30 දෙනෙකු සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ පෙරේදා පස්වරුවේ ඇති වූ නොසන්සුන් තත්ත්වයකින් පසු රැඳවියෝ පිරිසක් පළා ගියහ.

ඊට හේතුවූයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ නෑමට භාවිත කරන බාල්දියක් මුල්කරගනිමින් ඇති වූ  තත්ත්වයකි.

ගැටුම ඇතිවන අවස්ථාවේ  පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 547 ක් රැඳී සිටියහ.

රැඳවියන් ස්නානය කරන ස්ථානයේදී බල්දිය ලබාගැනීමට ගාල්ල ප්‍රදේශයේ රැඳවියෙකු සහ කොළඹ ප්‍රදේශයේ රැඳවියෙකු අතර මත ගැටුමක් නිර්මාණය වී තිබුණි.

මේ අතර මීට පෙර පසුගිය ජුනි මස 29 වෙනි දාත් මෙම කන්දකාඩු  පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

එහිදී රැඳවියන් 400 ක පමණ පිරිසක් පළා ගිය අතර එහිදී රැඳවියෙකු මිය ගියහ.

එම තත්ත්වය ඇතිවූයේ රැඳවියෙකු සතුව දුම්කොල ප්‍රමාණයක් තිබී හසුවීමෙන් පසුව උපදේශකයෙකු සමග ඇති වූ බහින්බස්වීමකි.

මේ අතර කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍යවරයාගෙන් වාර්තාවක් කැඳවා තිබේ.

 

(newsfirst)

Social Sharing
නවතම