ජවිපෙ සඳහා විවෘත වන ග්‍රාමීය දේශපාලන අවකාශය …!!!

 

දේශපාලනයේ දී අදහස් වැදගත්ය. ලංකාවේ දකුණේ වර්තමාන පොදු ජන දේශපාලනය ව්‍යුහගත වී ඇත්තේ දේශපාලන අදහස් පද්ධති දෙකක් මුල් කරගෙනයි. එකක් ජාතිය යන අදහස කේන්ද්‍රකරගත් දේශපාලයයි. අනෙකට නිෂ්චිත නමක් නැත. මෙම කතිකාවේ ප්‍රතිමාන තලය සකස් වී ඇත්තේ සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි අදහස් වටාය.

1990න් පසු දේශපාලනය දෝළනය වූයේ මේ අදහස් පද්ධති දෙක මුල් කරගෙනයි. පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් දකුණේ දේශපාලන ආධිපත්‍යය හෙබවූ රාජපක්ෂ ව්‍යාපෘතියට යුක්ති යුක්තභාවය ලැබුනේ ජාතිය පිළිබඳ අදහස් පද්ධතියෙනි. ජාතිය මුල්කරගත් කතිකාව නොවී නම් රාජපක්ෂ ව්‍යාපෘතියට ආචාරධර්මීය දේශපාලන යුක්තියුක්තභාවයක් ලැබීමට හේතුවක් නොවීය. ජාතිකවාදී අදහසේ ප්‍රමුඛ ප්‍රකාශකයින් වූ නලින් ද සිල්වාට හා ගුණදාස අමරසේකරට රාජපක්ෂ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටීයේ “ජාතිය“ පිළිබඳ අදහස වෙනුවෙන් කටයුතු කිරීමට කිසියම් හෝ විභවයක් ඇති දේශපාලන ව්‍යාපෘතිය රාජපක්ෂ ව්‍යාපෘතිය ලෙස හඳුනාගත් නිසාය.

කෙසේ වෙතත්, ගුණදාස අමරසේකරගේ වචනවලින් කියනවානම්, රාජපක්ෂ ව්‍යාපෘතියේ “කද“ නිර්මිත වී තිබුණේ 1956 මහජන එක්සත් පෙරමුණ පසුපස පැවැති දේශපාලන බලවේගය මෙන්, ජාතිය ප්‍රතිමාන කොටගෙන පැවැති දේශපාලන ප්‍රභූ ධූරාවලියකින් නොවේ. එම ප්‍රභූ ධුරාවලිය සකස් වී තිබුණේ, යුතු පරිදිම බැසිල් රාජපක්ෂගේ තත්කාර්යවාදී ප්‍රවේශය මගින් සංවිධානගත කළා වූ, අතිශයින් දූෂිත හා මහජන මුදල් හා රාජ්‍ය බලය අවභාවිත කිරීම මත යැපෙන දේශපාලන ප්‍රභූ පෙළකිනි. විශේෂයෙන්ම ග්‍රාමිය ප්‍රදේශ ඡන්දදායක ජනයා මැතිවරණවලදී කටයුතු කරන්නේ මේ ප්‍රභූ ධූරාවලිය සමගයි. සාමාන්‍යයෙන් දැන් ආණ්ඩු බලය සමග ගණුදෙනු කරන පක්ෂවලට අයත් ප්‍රභූන් අයත් වන්නේ මේ ප්‍රභූ ධූරාවලියටයි.

මේ ප්‍රභූ ධූරාවලියට පිටින් ග්‍රාමීය ඡන්දදායකයා සමග ඍජුව ගණුදෙනු කළ හැකි පිරිසක් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සමග පමණි. පසුගිය කාලයේ රාජපක්ෂ තන්ත්‍රයට පැවැති ආධිපත්‍යය නිසා මේ ජවිපෙ ග්‍රාමීය කාඩරයේ ක්‍රියාකාරිත්වය එතරම් බලපෑම් සහගත වූයේ නැත. රාජපක්ෂ තන්ත්‍රයේ දුර්වල වීමත් සමග ජවිපෙ ග්‍රාමීය කාඩරයට ග්‍රාමීය ඡන්දදාකයා සංවිධානය කිරීමට ඇති හැකියාව තරමක් වැඩි වී ඇති බව පෙනේ.
එසේම ජාතික ජන බලවේගය නිසා ඉහත කී ජාතිකවාදී නොවන අදහස් පද්ධතිය නියෝජනය කිරීමට ජවිපෙට ඇති හැකියාව ද තරමක් ඉහළ ගොස් ඇත.

– මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි –

Social Sharing
නවතම විශේෂාංග