ල.දු.දෙ සේවක පුරප්පාඩු 8000ක්

දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු පුරප්පාඩු අට දහසකට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.

එම ප්‍රමාණයට අමතරව වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම යන සේවක සංඛ්‍යාව සහ රා. ප. ච 19/2022 සහ 2022.09.14 දිනැති චක්‍රලේඛයේ අනුව දෙසැම්බර් 31 වන විට තවත් විශාල සේවක පිරිසක් විශ්‍රාම ගැනීමට නියමිත බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.

දුම්රිය මාර්ග, පාලම්, සංඥා සහ දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය මිනිස් ශ්‍රමය නොමැති වීමෙන් දුම්රිය සේවය බරපතළ කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම දුම්රිය මාර්ග, පාලම්, සංඥා, ධාවනාගාර කර්මාන්තශාලා ගොඩනැගිලි අංශවල සිදු කරන නඩත්තු කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපාංග නොමැති වීමෙන් බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවත් විතානගේ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවත් නියමිත පටිපාටියන්ට අනුකූලව අදාල බඳවාගැනිම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

 

(ලංකාදීප )

Social Sharing
නවතම