බුකර් සම්මානයේ අභිමානයට යටින් වැටුණු අවමානයේ සෙවණැල්ල

ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයට පාත්‍ර වීම මෙරට මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය අතර පසුගිය දින කිහිපයේදී වැඩිම කතාබහට සහ සංවාදයට ලක් වූ කාරණාව බවට පත්වූ අතර, ශ්‍රී ලාංකිකයකු එවැනි ඉහළ මට්ටමේ ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානයකින් පිදුම් ලැබීමේ ජයග්‍රහණය සහ සතුට කිසිදු ජාති භේදයකින්, ආගම් භේදයකින් පමණක් නොව පන්ති මට්ටමකින් තොරව සියලු දෙනාම එක සේ විඳ ගැනීම කැපී පෙනිණි. එසේ වුවත් මේ විශිෂ්ට සාහිත්‍යකරුවාගේ මුල් අවධියේ සිට ඔහු විසින් සිය මවුබිම සම්බන්ධව දැරූ විවිධ මතවාද නැඟෙන විවේචනයන් ද කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකිය.

විශේෂයෙන් ලන්ඩනයේදී බුකර් සම්මානය දිනා ගත් මොහොතේ සම්මාන උලෙළේ ප්‍රධාන ආරාධිත චාල්ස් රජුගේ අගමෙහෙසිය කැමිලා පාකර් පසෙක සිටියදී ශෙහාන් විසින් සිදු කරනු ලැබූ ඇතැම් ප්‍රකාශ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක් කිරීමක් බව අවිවාදිතය.

ඔහු විසින් පැහැර හරිනු ලැබුවේ ආර්ථික වශයෙන් මේ වන විට අසීරු අවදියක් ගත කරමින් සිටින පසුබිමක ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ කීර්තිනාමය යළි ඉහළට ඔසවා තැබීමට ලැබුණු ඉතා විරල අවස්ථාවකි. පවතින දේශපාලන තත්ත්වය කුමක් වූවද ආර්ථික වශයෙන් දැඩි අස්ථාවර භාවයක සිට ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන රටක සාහිත්‍යධරයකු වශයෙන් බුකර් සම්මානය හරහා යළි ශ්‍රී ලංකාව පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ජාත්‍යන්තර තුළ නිර්මාණය කිරීමට ඔහු අසමත් වීම කනස්සල්ලට කරුණකි.

ශෙහාන් කරුණාතිලක අහිමි කළේ මෙරට ජනතාවට සහ විදේශගත වන ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තරය තුළ සිය ගරුත්වය රැක ගැනීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ද බුකර් සම්මානය හරහා ලැබූ විරල අවස්ථාවකි.

වසර ගණනාවක් පුරා අඛණ්ඩව ඔහු විසින් මෙවැනි ප්‍රකාශ සහ මතවාද ලෝකය හමුවේ තැබීමට කටයුතු කර ඇතැයි ද, ජනවාර්ගික යුද්ධය සහ එවකට සිදු වූ තරුණ තරුණියන්ගේ අතුරුදන්වීම් වස්තු බීජය කරමින් විවිධාකාරයේ

නිර්මාණකරණයේ නිරත වීමේ නිදහස සහ අයිතිය ආරක්ෂා කරන අතරතුර විවිධ දේශපාලන කරුණු කාරණා මූලික කර ගනිමින් මව්බිමේ කීර්තිය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම ගැන කිසිසේත්ම ඔහුට සමාවක් නම් දිය නොහැකිය.

ශෙහාන් කරුණාතිලක බුකර් සම්මානයට පාත්‍ර වීමේ උණුසුම මැකී යෑමටත් පෙර මෙරට සමාජ මාධ්‍ය ජාලා හරහා වේගයෙන් සංසරණය වන එක්තරා වීඩියෝ පටයකට අනුව ඔහු මීට මාස කිහිපයකට පෙර එක්තරා ජාත්‍යන්තර සංවාදයකදී ශ්‍රී ලංකාව සොරුන්ගෙන් සහ ඝාතකයන්ගෙන් පිරුණු රටක් ලෙස හඳුන්වා දීමත්, විදුලිය සහ පෙට්‍රල් නැති බංකලොත් රටක් ලෙස ශ්‍රී ලංකාව ලේබල්ගත කිරීමත් උපන් බිමේ නියම උරුමක්කාරයකු සතු නොවන සාහසික මත දරන කරුමක්කාරයකුගේ ගති සොබාව මැනවින් නිරූපණය කරයි. ඔහු බුකර් සම්මාන එකක් නොව දහයක් දිනා ගත්තද මේ පාපයෙන් මෙන්ම ශාපයෙන් ගැලවෙන්නට ඔහුට කිසිසේත්ම නොහැකිය.

Silumina 23 10 2022
by ෆවුස් මොහොමඩ්

Social Sharing
අවකාශය නවතම