‘ඡන්දේට නිරෝධායන නීති කැඩුවැයි’ ලංකාපුර සභාපති ඇතුළු 7 ක් පූනානි වෙත.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ඡන්දය පාවිච්චි කළ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පවුල් දෙකක පුද්ගලයින් 7 දෙනෙකු පුනානි නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට පියවර ගත් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙසේ පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවන ලද්දේ පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ප්‍රිය බණ්ඩාර මහතාත් ඔහුගේ බිරිද හා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සේවය කරන තවත් පුද්ගලයෙකු හා ඔහුගේ බිරිදත් එම පවුල් දෙකෙහි දරුවන් 3 නෙකුත් ය.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල ප්‍රකාශකයෙකු පැවසුවේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සියලු දෙනා නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබිය දී මෙසේ සභාපතිවරයා ඇතුළු සිව් දෙනෙකු ඡන්දය පාවිච්චි කිරීම සිදු කර ඇති බවයි. කොරෝනා වෛරසය ආසාධිතයෙකු හා ඒ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු හමු වීමත් සමග මෙම ආයතනවල සියලු දෙනා නිවෙස් තුළ ම නිරෝධායනයට යොමු කර තිබුණත් දින 14 ඉක්මවා නොමැති බවත් ඔවුන්ට ඡන්දය පාවිච්චි කිරීමට අවසර නොදෙන බවත් දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් නිවෙස්තුළ නිරෝධායනය වන පිරිස් ඡන්දය පාවිච්චි කිරීමට යාමේ සූදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙත සැල වීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නියෝග මත පෙරවරුවේ සිට නිවෙස් තුළ නිරෝධායනය වන පිරිස් පිළිබදව සොයා බැලීමට සිවිල් ආරක්ෂක බලකායේ එක් සෙබලෙකු බැගින් යෙදවූ බවත් සභාපතිවරයාත් ඔහුගේ බිරිද ත් ප්‍රාදේශීය සභාවේ සේවය කරන තවත් සේවකයෙකු හා ඔහුගේ බිරිදත් සවස 1.00-2.00 ත් අතර කාලය තුළ ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය පාවිච්චි කර ඇති බවට සනාථ වීමෙන් පසු මෙම පුද්ගලයින් සිව් දෙනාම පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස මැතිවරණ කොමිසමේ නියෝග අනුව ඊයේ (05) සවස 8.00 ට පමණ ගෙනගොස් භාර දී ඇත.මෙම සිව් දෙනා සමග දරුවන් තිදෙනෙකු ද වන බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම